මම අඩු පාඩු දකින විදිය තරමක් වෙනස් – මහේල

mahela-speaks

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ මහේල ජයවර්ධන මහතා පවසයි. 

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් අනතුරුව ඔහු කණ්ඩායම රැදී සිටි බුබුලෙන් ඉවත්ව ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියේය.  “ජුනි මාසයේ ඉදන් දින 135 ක කාලයක් මම නිරෝධායනය වෙමින් සහ ජෛව බුබුළුවලට ඇතුළත් වෙමින් හිටියා. එච්චර දවස් ගානක් තමන්ගේ දුවව නොදැක සිටීම තාත්තෙකුට කොච්චර අමාරුද කියන එක ඕනම කෙනෙක්  තේරුම්ගනී කියලා මම හිතනවා.“

“ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට මම දැන්  ගෙදර යන්න ඕන. කණ්ඩායමෙන් ඉවත් වෙලා ගියත් අපි සතුව ඇති තාක්ෂණය ඔස්සේ දිගින්  දිගටම කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වන බව මම ඔවුන්ට කිව්වා.” යැයිද ජයවර්ධන මහතා  කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා  කණ්ඩායමට ජයවර්ධන මහතාගේ පැමිණීමත් සමග තව ජවයක් එක් වූ අතර කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයෝ ඒ සම්බන්ධයෙන් වඩාත් සුබවාදී අදහස් පළ කළහ. තමන්ගේ පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ පැවැති ගැටළු නිරාකරණය කිරිම සිය පළමු කාර්යය කරගත් ජයවර්ධන මහතා ඉන් අනතුරුව  සියලුම පිතිකරුවන්ට වෙන වෙනම වගකීම් පැවරීමටද කටයුතු කළේය.

“මම එනකොට හැම දේම හොඳට සිදුවෙමින් තිබුණා. නමුත් යම් යම් දේවල් තරමක් වෙනස් වෙලා තවත් වැඩි දියුණු වුණා නම් එය අපිට වාසි දායක වේ කියලා මට හිතුණා.   ප්‍රධානම දේ තමයි එක් එක් ක්‍රීඩකයාගෙන් අපි බලාපොරොත්තු  වෙන්නේ මොකක්ද කියන එක එයාලට පහදලා  දෙන එක. ඒ නිසා මම පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සමග හුගක් සමීපව කතා කළා.  අසාර්ථක වීමේ බයක් තියාගෙන අපිට විස්සයි-20 තරග ක්‍රීඩා කරන්න බැහැ කියන එක මම ඔවුන්ට තේරුම් කරලා දුන්නා.” “එහෙම නොවුනොත් අපිට පීඩනයක් ආවාම ඒ ද පීඩනය නැවතත් ප්‍රතිවාදීන්ගේ පැත්තට හරවන්ත අපිට බැරි වෙනවා. ඒ නිසා එම සෑම ක්‍රීඩකයෙක් සමගම පෞද්ගලිකවම කතා කළා. විශේෂයෙන්ම පිතිකරුවන් සමග, එයාලා පන්දුවට පහර දෙන  ස්ථානය අනුව එයාලගෙ භූමිකාව මොන වගේ විය යුතුද කියන එක මම එයාලට කිව්වා. මොකද අපේ පිතිහරඹ අංගය තව හුගක් දියුණු වෙන්න ඕන. ඒ වෙනුවෙන් අපි දිගටම කටයුතු කරමින් සිටිනවා.” යැයි ජයවර්ධන මහතා පැවසීය.

ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයෙත්, අංක 3 ස්ථානයේ  දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි භානුක රාජපක්ෂ අංක 5 ස්ථානයෙත් පන්දුවට පහරදීමට යෙදවූ මහේල, අතිරේක ක්‍රීඩකයකුව සිටි පැතුම්  නිස්සංක මූලික සංචිතයට ඇතුළත් කරවා ගනිමින් ඔහුට කුසල් පෙරේරා සමග ශ්‍රී ලංකා ඉනිමට ආරම්භ කිරිමේ අවස්ථාව දුන්නේය. අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ ලකුණු 8 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී වනිඳු හසරංගට පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබාදුන්ද මහේලය. එම වෙනස්කම්වල ප්‍රතිඵලය මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම අත්විඳිමින් සිටියි. “මම කණ්ඩායමක අඩු පාඩු දකින විධිය තරමක් වෙනස්. හුගක් වෙලාවට මම කරන්නේ දත්ත විශ්ලේෂණ කරන එක. ඒ හරහා මට හුගක් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දුර්වලතාවන් හොඳින් හඳුනාගන්න පුළුවන්.

විශේෂයෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ නොමැති අවස්ථාවක කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කරන්න මට යම් යම් වෙනස්කම් කරන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි ඒ  වෙනකොට ලකුණු අතර හිටපු අවිස්කව අපි අංක 4 ට ගෙනාවේ.” “මුල් පෙළ පිතිකරුවන් සහ මැද පෙළ පිතිකරුවන් එක්ව ගොඩනගන සම්බන්ධතා  තරගයක් වෙනස් කිරිමට බෙහෙවින්ම බලපානවා. ඒත් මම එනකොට මැද පෙළ හුගක් කඩා වැටිලයි  තිබුණේ. ඒ නිසා මුල් පෙළ සහ මැද පෙළ අතර  තිබුණු බැම්ම ශක්තිමත් කරගන්න අවස්කව යොදාගන්න ඕන කියලා මම හිතුවා.” “දත්ත විශ්ලේෂණය කළාම අපිට තේරුණා අවිශ්ක වැඩියෙන්ම දක්ෂ වැඩි පන්දු රකින්නන් සංඛ්‍යාවක් යාර 30 සීමාවෙන් එළියෙ පන්දු රකින වෙලාවෙදි ලකුණු රැස්කරන්න කියලා. ඒ නිසා අපි ඔහුව අංක 4 ට ගෙනල්ලා ඔහුට වෙනස්ම භූමිකාවක් බාරදුන්නා.” යැයි ජයවර්ධන මහතා පැවසීය.

(ශානුක අරවින්ද)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply