මුජීබ් උර් රහ්මාන්ගේ වාර්තාගත පන්දුයැවීම නිසා ඇෆ්ගනිස්ථානයෙන් T20 පෙරළියක්

 මුජීබ් උර් රහ්මාන්ගේ වාර්තාගත පන්දු යැවීමත්, නිජබුල්ලා සද්‍රාන් ප්‍රමුඛ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් හේතුවෙන්  ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 130ක වාර්තාගත ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ (25දා) සමත් විය.  මෙය ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම විස්සයි20 තරග ජයග්‍රහණය වන අතර, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ තෙවැනි හොඳම (ලකුණු පරතරය අනුව) ජයග්‍රහණය(හොඳම කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව 172) විය. 

ඒ අනුව මෙම ජයත් සමග සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයෙන් තරග කරන  ඇෆ්ගනිස්තානයට, දැවැන්ත දළ ලකුණු වේගයක් සහිතව සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගැනීමට අවස්ථාව උදාවිය.   සාජාහිදී පැවති මෙම තරගයේ ඇෆ්ගනිස්තානයෙන් හිමි වූ ලකුණු 191ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ස්කොට්ලන්තයට පන්දුවාර 10.2කදී සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 60ක් පමණි.

මෙය විස්සයි20 පිටියේ ස්කොට්ලන්තය දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හි කණ්ඩායමක් දැවී ගිය 05වැනි අඩුම (අඩුම 39/2014 ශ්‍රී ලංකාව හමුවේ. නෙදර්ලන්තය) ලකුණු සංඛ්‍යාවද වෙයි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අනර්ඝ පන්දු යැවීමක නිරත වූ මුජීබ් උර් රහ්මාන් සිය පන්දුවාර 04 තුළදී ලකුණු 20කට කඩුලු 05ක් දවාගැනීමට සමත් වූ අතර, මෙයද විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හි පන්දු යවන්නෙකු දැක්වූ 05වැනි  හොඳම (හොඳම 6/8 සිම්බාබ්වේට එරෙහිව අජන්ත මෙන්ඩිස් 2012) පන්දු යැවීම විය. එමෙන්ම මෙම බිඳවැටුණු කඩුලු සියල්ල කඩුල්ල මුවා කිරීමේ (LBW) වරදට හසුවූ දැවීයාම්ද විය.  කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 190ක් රැස් කිරීමට සමත් විය. මෙය ලෝක   කුසලාන තරගාවලියක ඇෆ්ගනිස්තානය වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වෙයි.

 

ඇෆ්ගන් ලකුණු පුවරුව ඔසවා තැබූ නජිබුල්ලාහ්  සද්‍රන් පන්දු 34කදී ලකුණු  59ක් රැස් කළ අතර, එම ඉනිමට දැවැන්ත හයේ  පහර 03ක්ද ඇතුළත් විය.   ඔහුට අමතරව පිටිය සිසාරා  දැවැන්ත හයේ පහර එල්ල කරමින් රහ්මනුල්ලාහ් ගුර්බාස් (46), හස්රතුල්ලාහ් සසායි (44) ඇෆ්ගන් ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙන ගියහ. ඇෆ්ගනිස්තාන ඉනිම පුරාවට හයේ පහර 11ක් වාර්තාවීමද සුවිශේෂී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply