ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිපය ස්වාධීනව තරග කරයි

slfp-contest-separately

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත නොවී වෙනම ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කරන ශ්‍රීලනිපය දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් තෝරා ගැනීම හෙට (27) පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ඩේලි මිරර් වෙත පවසා තිබේ.

ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් ලෙස සුදුසු මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ශ්‍රීලනිප පංච පුද්ගල මණ්ඩලයක් මේ වන විටත් පත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පළමු සම්මුඛ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත බවත් වාර්තා කර තිබේ.

ශ්‍රීලනිපයේ තනතුරු සඳහා සලකා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25 න්ම පක්ෂ ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් දහස් ගණනක් ලැබී ඇති අතර අයදුම්කරුවන් 300 කට පමණ බදාදා උදේ 9.00 ට පක්ෂ කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

උගත් තරුණ තරුණියන්ට ප්‍රමුඛත්වය දී ආසන සංවිධායකවරුන් ලෙස පත් කරන්නටත් දිස්ත්‍රික් සංවිධායකවරුන් තෝරා ගැනීමේදී දේශපාලනයේ පළපුරුද්ද ද සලකා බලන්නටත් යෝජිතය.
කෙසේ වෙතත්, දූෂණ චෝදනා, අපරාධ ක්‍රියා සහ උසාවි නඩුවලින් තොර සමාජය තුළ පවිත්‍ර චරිතයක් තිබීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම වගකිවයුතු තනතුරක් සඳහා තෝරා ගැනීමට ඇති ප්‍රථම සහ ප්‍රධානතම සුදුසුකම බව දන්වා ඇත.

ශ්‍රීලනිප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් සිල්වා සහ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඇතුළත් බව වාර්තාවේ.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply