පුළුල් බහුජන ව්‍යාපාරයක් සඳහා… [රංජිත් හේනායක ආරච්චි]

iMage: Vikalpa

අද ලංකාව මුහුණ දී ඇති සමාජ සහ දේශපාලන අර්බුදය මීට ප්‍රථම අපට මතක ඇති කාලයක ලංකා සමාජයෙහි නොතිබුණ තරම්ය. දේශපාලන පක්ෂවලින් බලයට පැමිණෙන කවුරුන් හෝ අයකු එසේ බලයට පැමිණෙන්නේ තමන්ගේ සහ තමන්ගේ, ඥාතීන්ගේ සහ ගජ මිතුරන්ගේ මනදොළ පිනවීමට බව පසුගිය වසර 50 ක පමණ ලංකා දේශපාලනය පෙන්නුම් කරයි.  එසේ නොවන දේශපාලනඥයෙකු සිටින්නේ ඉතා කලාතුරකිනි.

දේශපාලන බලය ලබා ගැනීමෙහි ලා ප්‍රධාන දේශපාලන පක්ෂයන් හී නාම යෝජනා සුදුසුකම් ලබන්නේත් නාම යෝජනා ලබන්නේත්, මෙම දේශපාලන පක්ෂවල බලවතුන්ගේ නෑදෑයින්, හිතවතුන් සහ හෙංචයියන් පමණි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් තේරී පාර්ලිමේන්තුවට යැවීමට ඇති සුදුසුකම මෙම පක්ෂවල නායකයින්ට හිතවත්, කීකරු සහ අඳබාල වීම පමණි.

එසේ තිබියදීත් මෙරට ජනයා මෙම පක්ෂ වලින් තරඟ කරන එවැනි ජරාජීර්ණ වූ මිනිසුන්ටම ඡන්දය දීමට හුරු වී සිටිති. මෙම දේශපාලන පක්ෂ දෙස බලන විට අපට කරුණු කිහිපයක් පෙනී යයි.

පළමුව, ලංකාවේ පවතින දේශපාලන පක්ෂවල ඇත්තේ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහ ඒකාධිපති හෝ වැඩවසම් ලක්ෂණයන්ය. දෙවනුව, ලංකා ඡන්දදායකයා තමන්ගේ මොනවා හෝ එදිනෙදා සුළු කාරණයක් ඉටුකර ගැනීම වැනි පුංචි වාසි තකා ඡන්දය දීමට හුරුව ඇති අතර, ඔවුන්ට ප්‍රතිපත්තිමය කාරණා සලකා, රටෙහි දීර්ඝ කාලීන දියුණුව සලකා ඡන්දය දීමේ හුරුවක් නැත.

මේ පවතින දුර්දාන්ත තත්ත්වයෙන් රට අලුත් දේශපාලන රටාවක ට ගෙන යාමට නම් අප වෙත කෙටි කාලීන විසඳුම් නැති බව මගේ වැටහීමයි.

ඒ සඳහා දැනුවත් සමාජයක් ගොඩනඟා ගැනීම, එසේ නැත්නම් දැනුවත් පුරවැසියන්ගෙන් යුතු සමාජයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වේ. මෙයින් මා අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති ජනතාවගේ පරමාධිපත්‍ය යන්න හැබෑ ලෙස වටහා ගන්නා මිනිසුන් කොටසක් රට තුළ බිහි කර ගැනීමයි.

එය පහසු ක්‍රියාවක් නොවන බව අපි දනිමු. එනමුත් එම කාර්යයේ දී අප තුළ ඇති අපේම දුර්වලකම්, මෙම අසාර්ථක භාවයට බොහෝ විට හේතු වන බවත් අප වටහා ගත යුතුය.

ප්‍ර‍ජාතන්ත්‍රවාදී බලවේගයක් ගොඩනැගීමට ඉදිරිපත් වන මිනිසුන්, සංවිධාන, පක්ෂ හෝ වෙනත් ඕනෑම ආයතනයක් පළමුවෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී යන්නේ වචනය පමණක් තේරුම් ගැනීම ප්‍රමාණවත් නොවේ. එහි සැබෑ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් එම පක්ෂ තුළ තිබිය යුතුය. 

මෙම කාරණය සම්බන්ධයෙන් සලකා බලන විට අද අපට බහුජන බලවේගයක් එසේ නොවේ නම් පොදු ජන ව්‍යාපාරයක් ගොඩනගා ගන්නේ කෙසේද යන කාරණය වැදගත්ය.

මගේ වැටහීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවක් සදහා අත්‍යාවශ්‍ය ම සාධකය වන්නේ එවැනි පුළුල් බහුජන ව්‍යාපාරයකි.

මේ කාරණයේ දී මුලින්ම අප වටහා ගත යුත්තේ, අප බහුජන ව්‍යාපාරයක් ගොඩ නඟන්නේ කුමක් අරමුණ කරගෙන ද යන්නයි.

බොහෝ වෙලාවට අප හුරු වී ඇත්තේ පවතින දුර්දාන්ත ආණ්ඩු පෙරළා දැමීමට ඒකරාශී වීමටයි. එසේ පෙරළා දැමීම සිදු වූවාට පසු ඊළඟට බලයට එන කණ්ඩායම විසින් අපගේ අරමුණු ඉටු කරනු ඇතයි අප නිහඬව බලා සිටීමට පුරුදු වී සිටිමු.

වරින් වර අප ලබන අත්දැකීම් මෙම මාරු වීම් තුළින් බලයට එන කිසිවකු ජනතා උවමනාවන් ඉටු නොකරන බවය. බොහෝ වෙලාවට තිබුණාටත් වඩා නරක තත්වයකට අලුතින් ආ කණ්ඩායම රට පත් කරනු ලබන බවය. මෙයට හොඳම උදාහරණය නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොරොන්දු දුන් ආණ්ඩු කීයක් බලයට පැමිණියේ ද යන්නත් අද අප රට පත්ව ඇති තත්වයත්ය.

‍එසේ නම් මා අදහස් කරන අන්දමට, එවැනි පොදු ජන බලවේගයක මූලික අරමුණ විය යුත්තේ අපට බලපාන, අපට අවශ්‍ය, මුලික ප්‍රශ්නවලට විසදුම් ලැබා ගැනීමේ බලවේගයක් බවට පත් වීමයි. එසේ නැතිව බලය පෙරළීම හෝ බලය ලබාගැනීම එහි අරමුණ නොවිය යුතුයි.

සමහර විට රටක් තුළ එවැනි බලවේග සහ ජාල ගණනාවක් තිබිය හැකිය. එම සියලු ක්‍රියාකාරිත්වයන් සමාජයේ පොදු යහපත උදෙසා කටයුතු කරන්නේ නම් අත්‍යවශ්‍යම ඉල්ලීම් ඉටු කරවා ගැනීම සඳහා පුළුල් පෙරමුණක් බවට පත්වීම දුෂ්කර නොවනවා ඇත.

බලය පෙරළීමේ උවමනාවෙන් ගොඩනගන සංවිධාන පවතින්නේ බලය පෙරළා දැමීම සිදුවන තුරු පමණි. එයින් පසු එම සංවිධාන ක්‍රමානුකූලව දිය වී යන අතර බලයට ආ ආණ්ඩු විසින් සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ප්‍රතික්‍රියා දැක්වීමේ බලවේගයක් එමගින් රට තුළ නැතිව යයි.

නමුත් අප ගොඩනගන එවැනි බලවේගයක් පවතින්නේ අපේ මූලික අවශ්‍යතාවන්, අපේ දේශපාලන ඉල්ලීම් ඉටු කර ගැනීමේ අරමුණෙන් නම්, ආණ්ඩු පෙරළීමක් තුළ එවැනි සංවිධානයක් අක්‍රීය නොවනවා පමනක් නොව, ආණ්ඩු පෙරළියත් සමග එය එහි ක්‍රියාදාමයන් තවත් තීව්‍ර කල යුතු වනවා ඇත.

පෙරටත් වැඩි සංවිධානාත්මක බවකින් නව ආණඩුවක් බලයට පත් අලුත් තත්ත්වයන් තුළ ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යය. මහජනයාගේ පොදු උවමනාවන් ඉටු කරගත හැකි වන්නේ එවැනි සිවිල් බහුජන ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර විසින් කරන බලපෑම් තුළිනි.

මෙහිදී අමතක නොකළ යුතු තවත් කාරණයක් ඇත. ලංකාවට ආවේණික ව ලංකාවේ පොදුජන ව්‍යාපාරයන්හි ක්‍රියාත්මක වන වැඩි දෙනකු පැමිණෙන්නේ වමේ දේශපාලන පක්ෂ වලින් හෝ ඒ හා සමාන ආභාසයක් ලැබූ කොටස් තුළින්ය.

බොහෝ විට කැපවීමෙන් සමාජ ව්‍යාපාරයන් සමඟ වැඩ කිරීමට ඉදිරිපත් වන්නේ වමේ කණ්ඩායම් හෝ පක්ෂ වල වැඩකර හුරු ඒ නිසාම තම ජීවිතයේ කැප කිරීමකට යම්කිසි හුරුවක් ලද අයයි. නමුත් බෙහෝ විට එවැනි පුද්ගලයින් සහ ඔවුන්ගේ හුරුව පවතින්නේ දේශපාලන පක්ෂ ගොඩනැගීමට ඇති කළ හුරුව එනම් දේශපාලන බලය තමන් අතට ගැනීම යන මූලික සිද්ධාන්තය මතයි.

රටක් ගොඩ නැගීමට දේශපාලන බලය අවශ්‍ය වන නමුත් පොදු ජන ව්‍යාපාරයක මූලික උවමනාව පවතින්නේ දේශපාලන බලය අතට ගෙන ඔවුන් විසින් රට ගොඩනැගීම නොව මහ ජනයා බල සතු කරමින්, බලයට එන මොනයම් ම ආණ්ඩුවක් හෝ සමග කරන බලපෑම තුළින්, ඔවුන් සමඟ කේවල් කිරීමේ බලයක් ලෙස පවතිමින්, පොදු ජනයාගේ වුවමනාවන් ඉටු කර ගැනීමේ වැඩ පිළිවෙලක් තුළය..

මෙම දේශපාලන පක්ෂ වල හෝ කණ්ඩායම්හි වැඩ කල අයට, පක්ෂයක වැඩ කරන ආකාරය මිස ‍ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක වැඩ කිරීමේ හුරුවක්, ආභාසයක් නොමැතිකම බහුජන ව්‍යාපාර ගොඩනැගීමට ඇති විශාල බාධාවක් ලෙස මතුවෙයි.

බහුජන පෙරමුණක් ක්‍රියාත්මක වීමේ දී ඒ තුළ විවිධ කණ්ඩායම් සහ පුද්ගලයින්, ආයතන සහ පදනම් වැනි කොටස් එකට එකතු වේ.  පක්ෂ ආරට අනුව වැඩ කිරීමේදී අප හුරු වී ඇත්තේ එක කණ්ඩායමක් තම මතයට අනිත් අය (යටපත් කර ගැනීමට) එකඟ කර ගැනීමට උත්සාහ කිරීමේ ස්වභාවයකි. මෙය අඩු වැඩි වශයෙන් සෑම දේශපාලන කණ්ඩායමකින් ම එන පුද්ගලයින් තුළ ද හුරුවක් ලෙස පවතී.

ඒ වාගේම මෙහිදී මතකයට ගත යුතු තවත් කරුණක්, රටෙහි දේශපාලන පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ නැති බවය. මා දකින ආකාරයට ලංකා සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නැති තරම්ය. මෙම පක්ෂ වලින් වැඩි හරියක් ඒකාධිපති පක්ෂ වන අතර සමහර ඒවා වැඩවසම් ලක්ෂණ වලින් සමන්විත ය.

ඒ නිසාම අප තුළ පවතින හුරුව ‍ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවේ. එකිනෙකාගේ මත ඉවසීමේ සහ අනෙකාට වෙනත් මතයක් දැරීමට ඇති අයිතියට ගරු කිරීම අපේ හුරුවට අයත් නැත. ඒ නිසාම විවිධ නම්‍යතාවයන් සහ එකඟතාවයන් වලට යෑමේ හුරුවක්, නැඹුරුවක් නැති අපි, අපට අවශ්‍ය තැනට අනෙකා ගෙන ඒමට උත්සාහ කරමු. එසේ බැරි වූ විට අනෙකා පිටු දැකීමට ඇති හුරුව නිසාම මෙම බහුජන බලවේග දිගු කාලයක් එකට ක්‍රියාත්මක වීම සිදු වන්නේ නැත. එසේ නැත්නම් ඒවා තුළ විවිධ මත භේද හට ගෙන පුපුරා යයි.

ලංකාවේ බහුජන සංවිධානවල ක්‍රියාත්මක වන අනෙක් කොටස නම් විවිධ රාජ්‍ය නොවන සංවිධානයන්හි වැඩ කරන අයයි. මෙම සංවිධාන තනි තනි සමාජ ප්‍රශ්න සඳහා වැඩ කරනවා වුවත් එකට වැඩ කිරීමේ සංස්කෘතියක් ඔවුන් අතර බිහි වී නොමැති තරම්ය. එයට එක හේතුවක් ඔවුන් අතර ආර්ථික සම්පත් ලබාගැනීමට ඇති නිරන්තර තරඟයයි. මෙම තරඟය ද පොදු බව ගොඩනැගීමට ඇති විශාල බාධාවක් බව මගේ අදහසයි.

අනෙක් අතට අප සමාජය තුළ දැනට වැඩි දෙනකු ක්‍රියාත්මක වන්නේ වන්දි බට්ටයින් හෝ එහෙයියන් ලෙසින්ය. මේ තත්ත්වය බොහෝ විට සියලුම පාහේ දේශපාලන ව්‍යාපාර තුළ මෙන්ම පක්ෂයන්හි ද පවතින තත්ත්වයයි. සමහර දේශපාලන පක්ෂ වල නායකයින්ට කතා කිරීමේදී එහි සාමාජිකයින් ඔවුනට “සර් හෝ මැඩම්” කියා කතා කරන මට්ටමක් ද පවතී.

එවැනි දේශපාලන පක්ෂයක් තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදයක් සුලුවෙන් හෝ ගැබ්ව නොමැති අතර ‍ප්‍රජාතන්ත්‍රවාදී නොවන පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කළ නොහැක.

එසේනම් අප මුලින්ම කළ යුතු වන්නේ ලංකා සමාජය තුළ ශක්තිමත් ස්වාධීන සිවිල් පුරවැසි කණ්ඩායමක් බිහි කර ගැනීම බව මගේ අදහසය.

රංජිත් හේනායක ආරච්චි | Ranjith Henayaka Arachchi

What Do You Think ?

Leave a Reply