අද ලෝක කුසලාන සුපිරි 12 වටය- ශ්‍රී ලංකා – බංගලිදේශ තරගය – ඊයේ ඕස්ට්‍රෙලියාව හා එංගලන්තය දිනුම්

twenty-20-world-cup-sri-lanka-bangladesh

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ඊයේ (23) ආරම්භ වුණා.
පළමු කාණ්ඩයේ (GROUP 1) තරගයක් වූ සුපිරි 12 වටයේ පළමු තරගය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි.
එම තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.
අබුඩාබිහි පැවති තරගයේ කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළ අතර පිටියට පිවිසි දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 පමණයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 40ක් ද, ඩේවිඩ් මිලර් ලකුණු 16ක් ද කාගිසෝ රබාඩා නොදැවී ලකුණු 19ක් ද රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.
ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය මාර්කස් ස්ටොයිනිස් පන්දු 16කින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා.

—————-

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය  සමත් වුණා.
ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර
 පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 14.2 ක් තුළ ලකුණු 55කට සීමා වුණා. එය 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ තෙවැනි අවම ලකුණු සංඛ්‍යාව විය.
කොදෙව් ඉනිමේ ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රිස් ගේල් පමණයි. ඔහු ලකුණු 13කට දැවී  ගොස් තිබුණි.
පන්දු යැවීමේ දී සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අඩිල් රෂීඩ් පන්දුවාර 2.2ක් යොමු කරමින් ලකුණු 2කට කඩුලු 4ක් දවා ගත්තේය.එංගලන්තය පන්දුවාර 8.2ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

—————-
2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග පැවැත්වෙන දෙවන දිනය අද (24) වන අතර අද තරගාවලියේ වැදගත් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
දිනයේ පළමු තරගය, එනම් මෙවර තරගාවලියේ 15 වැනි තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා බංග්ලදේශය අතර මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ඇරඹේ.
දෙවැන්න ඉන්දියාව හා පාකිස්තානය අතර පස්වරු 7.30ට ඇරඹේ.

අද තරගය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා විය.
නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේ දී ඔහු මුහුණදුන් ආබාධය හේතුවෙන් අද තරගයෙන් ඔහුව විවේක ගැන්වීමට කටයුතු කර තිබේ.
ඒ අනුව තීක්ෂණ වෙනුවට අකිල ධනංජය සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙයි.
කණ්ඩායම් දෙක සතුවම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් සතු වීම හේතුවෙන් තරගය වඩාත් ආකර්ශනීය මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් දන්වා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙල තවමත් ස්ථාවර වී ඇති බවක් දක්නට නොලැබෙන අතර, ඉදිරි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට හොදින් ක්‍රීඩා කිරීමටනම් මුල්පෙල පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම අතිශය වැදගත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2007 වසරේ දී වන අතර, එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 64ක ජයක් වාර්තා කර තිබේ.

    අද තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිදු හසරංග, දසුන් ශානක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ළහිරු කුමාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Leave a Reply