මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක අභාවප්‍රාප්ත වේ

wasantha-priya-ramanayake-passed-away

වසර 40 කට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා, දෙදරු පියෙකි.
මියයනවිට ඔහු 67 වන වියේ පසුවිය. පෙරමග සගරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස මාධ්‍ය ජිවිතය ඇරඹූ ඒ මහතා දෙසතිය සගරාවේ ප්‍රධාන සංස්කාරක ලෙසද කටයුතු කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරය දරද්දී ඒ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුද විය. ලේක්හවුස් ආයතනයේ සභාපතිධූරයද දරා ඇති ඔහු දේශපාලන විචාරකයෙකි..

ලංකාදීප පුවත්පතේ කිවිදා විග්‍රහය දේශපාලන ලිපිය දිගුකලක් රචනා කළ  වසන්ත ප්‍රිය රාමනායක මහතා ජාතික රූපවාහිනියේද දේශපාලන සමාලෝචන වැඩසටහන් මෙහෙයවූයේය. ආසියා කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සබදතාවක් ඇති කිරීමේ අරමුණින් ඇරඹි ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ පුරෝගාමියා විය. ‍

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අභාවප්‍රාප්ත වසන්ත ප්‍රිය රාමනායක මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට පස්වරු 3 ට සිදු කිරිමට නියමිතයි.

Leave a Reply