කොවිඩ් කාලේ කම්කරු මූලික අයිතිවාසිකම් රකින්න කිහිළිකරු ප්‍රමාණවත් නෑ!

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප්‍රසිද්ධියක් සමගින් මෙරට ප්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ.
මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී ඇති අතර ඉන් සමහරකට කම්හල්වල සාමාජිකත්වයක් හෝ ඇත්තේ නැත. වසංගතය හමුවේ බොහෝ කලාපීය සේවක සේවිකාවන්ද මෙවැනි අසීරුකම් වලට හා ජීවිත තර්ජන වලට මුහුණ දෙන හෙයින් මේ කතා කලාපීය විරෝධතා වලටද ඇතුළුව ඇත.
තමන් වෙත ආකර්ශනයක් ලබා ගැනුමට ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම්වලට පරිබාහිර වූ මේ මෑත කාලීන ‘‘අයිතිවාසිකම් සඳහාවූ ක්‍රියාකාරිකයින්’’ ගැටළු විශාල කර පුම්බා දැක්වීමට පෙළඹී තිබේ. වරක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පමණක් කොවිඞ්-19 ආසාදනය වූ පිරිස 5,000 ක් යැයි දක්වන ලදී. මේ අතර හාම්පුතුන් පවසන්නේ පළමු එන්නත් මාත්‍රාව සේවකයින්ගෙන් සියයට 90 ට හා මාත්‍රා දෙකම සේවකයින්ගෙන් සියයට 74 ට ලබා දී ඇති බවය. නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත‍්‍රය පිළිබඳව උපුටා දක්වන දත්ත හා සංඛ්‍යා සැම විටම නිශ්චිත නොවන දත්ත හා සංඛ්‍යා ය. ඒවා තීන්දු වන්නේ කියන තැනැත්තා කවරෙක්ද හා කවර අරමුණක් සඳහා පවසන්නේද යන්න අනුවය.
ඇඟළුම් අංශයේ රැකියා නියුක්තිය ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 15 ක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසන අතර කිසිදු නිශ්චිත සංඛ්‍යාවක් නොදක්වයි. ‘‘ශ්‍රම බලකාය’’ ලෙස ඇති සඳහනට කිසිදු පැහැදිලි කිරීමක් නැත. 2019 වර්ෂයේදී ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු සමීක්ෂණයෙහි දක්වා ඇති නාගරික මෙන්ම ග්‍රාමීය ක්ෂේත්‍ර තුළ වයස අවුරුදු 15 ට වැඩි රැකියා නියුක්ත සංඛ්‍යාව ශ්‍රම බලකාය ලෙස ගතහොත්, ඇඟලූම් ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය මිලියන 1.23 ක් වනු ඇත. එහෙත් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (jaaf) පවසන්නේ ඇඟළුම් ක්ෂේත්‍රයෙහි ඍජු රැකියා 300,000 ක් හා වක්‍ර රැකියා 600,000 ක් ඇති බවය. එලෙස මෙම සංඛ්‍යා සැමවිටම පරස්පර වන අතර කිසිදු විටක පරිපූර්ණ හා නිරවද්‍ය නොවේ.
කටුනායකින් එපිට වසංගතය
කෝවිඞ්-19 වසංගතයේ තර්ජනය සංඛ්‍යා හා දත්තවලට එපිටින් කටුනායක හා ඇඟලූම්වලින් ඔබ්බටද ගිය කතාවකි. කෝවිඞ්-19 වසංගතය සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන සිටින තත්ත්වයක් තුළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ මෙන්ම ඉන් පරිබාහිරව ඇති කම්හල්වල සියලූ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාවටද තර්ජනයක්ව පවතී. මෙම තුන්වන රැල්ල තුළ 2021 සැප්තැම්බර් 05 වන දින වන විට මන්නාරම (1,357), කිලිනොච්චිය (4,636), මුලතිවු (1,284), කල්මුනේ (2,782) හා මඩකලපුව (6,155) වැනි දුරබැහැර දිස්ත්‍රික්ක වලින් පවා සැලකිය යුතු ආසාදනයන් වාර්තා වී ඇත.
කෝවිඞ්-19 වයිරසයේ පළමු බරපතල ව්‍යාප්තිය ආරම්භ වූයේ කටුනායක කම්හල් සේවකයින් අතරින් නොවේ. එය 2020 ඔක්තෝම්බර මුල මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලෙන් වාර්තා වූ අතර, එතැන් සිට කටුනායකින් ඔබ්බෙහි බොහෝ දුර පළාත් වෙත ගමන් කර තිබේ. පානදුර, සීතාවක, බිංගිරිය, කොග්ගල, තුල්හිරිය හා හසලක කම්හල් ගණනාවක තුන්වන රැුල්ලෙහි ආසාදන වාර්තා වී තිබේ.
මෙම වර්ෂයේ මැයි මාසයේදී, හොංකොං හි සුප්‍රකට ඇඟලූම් හා රෙදිපිළි සමාගමකට අයත් කම්හලක් වන, 1,500 ක් සේවයේ යොදවා ඇති එස්කුවෙල් කොග්ගල කම්හලේ කම්හල් කළමනාකාරවරයා නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් 2021 මැයි 31 වන දින දක්වා දින 10 කට රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් විසින් නියෝග කරන ලදී. එම කළමනාකාරවරයා ආසාදිත සේවකයින්ගේ සමීපතම ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා නොදුන් බවත්, ලබා දී ඇති උපදෙස්වලට පටහැනිව සේවාමුර මත කම්හල පවත්වා ගෙන ගිය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු (phis) අධිකරණයට පැවසූහ.
මේ දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කම්හල් කළමනාකාරවරයකුට අධිචෝදනා පැවරූ ප්‍රථම හා එකම අවස්ථාව මෙය වුවද, එබඳු උල්ලංඝණ දුර්ලභ නොවේ. සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ අවධානයට හසු නොවන නමුත් ජන ජීවිතයට බලපෑම් කෙරෙන ආසාදිතයින් ඉන්නා තවත් කම්හල් තිබිය යුතුය.
අමතකව ගිය උතුරු-නැගෙනහිර කම්කරුවන්ගේ ඛේදනීය තත්ත්වය
කෝවිඞ්-19 වසංගතය පිළිබඳව දකුණේ සිංහල ප්‍රදේශ තුළ පවා ජනමාධ්‍යයන්ට විමර්ශනාත්මක ආවරණයක් නොමැති අතර, කොළඹ සමාජ ක්‍රියාධරයින් වන්නිය හා නැගෙනහිර කම්හල්වල කොවිඞ්-19 ආශ්‍රිත ගැටළු සොයා බලන්නට වෙහෙසෙන බවක් නොපෙනේ. එනමුත් විශේෂයෙන්ම වන්නියේ හා නැගෙනහිර කම්හල්වල ශ්‍රම බලකාය තම කම්හලේ පවා කිසිදු ‘‘අන්තර්-සේවක සබඳතාවක්’’ ගොඩනගා ගැනීමට නොහැකිව, පරමාණුගතව ඉන්නා බව සටහන් කරනු කැමැත්තෙමි. අවුරුදු 25 ක දිග් ගැසුණු යුද්ධයෙන් බිඳ වැටුණු සංවිධිත සමාජයක ආරක්ෂක හමුදා සමග දෛනිකව පැවතීමට සිදුව ඇති රාජ්‍ය යාන්ත‍්‍රයට කම්කරු ගැටළු ගැන උනන්දුවක් ඇත්තේ නැත.
ආයෝජකයින් යුද්ධයෙන් බිඳ වැටුණු සහ විනාශ වූ උතුරු නැගෙනහිර හුදකලා ප්‍රදේශයන්හි කර්මාන්ත ශාලා විවෘත කිරීමට උනන්දු වූ ප්‍රධාන හේතුවක් වන්නේ ඒ සමාජයෙන් අසංවිධානාත්මක ශ්‍රමිකයන් එකතුකර ගැනීමට ඇති හැකියාව විය. සිවිල් පරිපාලනය අඩාලව අකර්මන්‍යව ඇති සන්දර්භයක් තුළ යුද්ධයෙන් අසරණ වූවන්ට රැකියා ලබා දීමට යැයි ආධාර ලබා දෙන ආයතන, මේ ප්‍රදේශවල ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම යටපත් කෙරෙන බව නොසළකා රැකියා ගැන අවධාරණය කරති. මෙම මූලික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් සහතික කෙරෙන බව හෝ ඔවුන් සළකන්නේ නැත.
සමස්ත වසංගත තත්ත්වය කෙටියෙන්
සේවා ස්ථානයන්හි සමස්ත වසංගත චිත‍්‍රය පැහැදිලිකර ගැනීමට හා පහසුවෙන් තේරුම් ගැනීමට මෙහිදී කාරණා කිහිපයක් අවධාරණය කළ යුතුය. අවුරුද්දකුත් මාස 06 ක් මුළුල්ලේ හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව කෝවිඞ්-19 පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් වැදගත් අවධානයක් යොමුකර නැත. ඔවුන්ගේ ප්‍රධාන අවශ්‍යතාව වූයේ කම්හල් ක්‍රියාත්මකව තබා ගැනීම පමණි. ඔවුහු කම්කරු අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද ‘‘කෝවිඞ්-19 ආශ්‍රිත කම්කරු ගැටළු පිළිබඳ ත්‍රෛපාර්ශවීය කාර්ය-සාධක බලකාය’’ විසින් 2020 මැයි හා දෙසැම්බර් මාසවලදී ගනු ලැබූ තීරණ දෙකක් නොසලකා හැරියහ. රැකියාවට කැඳවනු නොලබන සේවකයින් සඳහා සේවය නොකරන කාලයට අවම රුපියල් 14,500 ක මාසික වැටුපක් ලබා දීම ඉන් එකක් වූ අතර දෙවැන්න වූයේ සියලූ කම්හල්වල සේවක නියෝජනයක් සහිත ද්වීපාර්ශ්වික ‘‘කම්හල් සෞඛ්‍ය කමිටු’’ (hfc) සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීමය.
තමන්ට නව ඇණවුම් ලැබී නොමැති බවත්, මාස ගණනකට නව ඇණවුම් නොලැබීමට ඉඩ ඇති බවත්, එම නිසා සියලූම සේවකයින් සේවයේ යෙදවීමට තමන්ට නොහැකි බවත් 2020 මැයි මාසයේදී කම්හල් හිමියෝ පැවසූහ. ඒ සමග කෝවිඞ්-19 වසංගතය ආශ්‍රිත ගැටළු මත කිසිදු සේවකයකු ඉවත් නොකළ යුතුය යන මූලික ප්‍රතිපත්තිමය තීරණය ත්‍රෛපාර්ශවිය කාර්ය-සාධක බලකාය විසින් ගනු ලැබූ අතර, එය ආණ්ඩුව විසින් අනුමත කරන ලදී. ඒ අනුව, රැකියාවට කැඳවනු නොලබන සේවකයින් සඳහා රුපියල් 14,500 ක අවම වැටුපක් ගෙවීමේ පොදු එකඟත්වයට සියල්ලන් එකඟවූ අතර මාරුවෙන් මාරුවට සේවක කණ්ඩායම් යෙදවිය යුතුයැයි තීන්දු විය. මෙම තීන්දුවට අනුව සේවයේ යෙදවීම හා වැටුප් ගෙවීම පැහැර හැරි අවස්ථා තිබූ අතර, හාම්පුතාගේ වාසිය පිණිස හිතාමතා වැරදි අර්ථ-නිරූපන දීමද සිදුවිය.
කම්හල් සෞඛ්‍ය කමිටු සම්බන්ධයෙන් ගත් කළ, කම්හල් හිමියෝ සේවක නියෝජනය සහිත කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීමේ තීරණය සම්පූර්ණයෙන්ම නොසලකා හැරියහ. කම්කරු බලධාරීන්ද එම තීරණය නොපිළිපැදීම වසන් කිරීමට උත්සාහ කළහ. සියලූම කම්හල්වල ‘‘සේවා සෞඛ්‍ය හා ආරක්ෂක කමිටු’’ ඇති බවට ඔවුහු තර්ක කළහ. එම කමිටු බොහෝ සෙයින් අකර්මන්‍යව ඇති අතර, ඒවාට පැවරී තිබුණේ සේවා ස්ථානයන්හි හදිසි අනතුරු වැනි අවස්ථා වලට මැදිහත්වීම පමණි. කෝවිඞ්-19 වසංගතය සේවා සෞඛ්‍ය අන්තරායක් නොවන අතර, එය හදිසි ආපදාවක්ද නොවේ. කෝවිඞ්-19 වසංගතය සමග කම්හල් සෞඛ්‍ය කමිටු තිබීමේ අවශ්‍යතාව ඇති වන්නේ එනිසාය.
අදාල අනෙක් කාරණා නම්, කිසිදු කම්හලක ‘‘සාමාජීය දුරස්ථකරනය’’ ප්‍රායෝගිකව පවත්වා ගත නොහැකි වීමය. කිසිදු කම්හලක් එවැනි වසංගත බලාපොරොත්තුවකින් සැලසුම් කරන ලද හා ඉදිකරන ලද කම්හල් ගොඩනැගිලි නොවේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව වායුසමනය ක්‍රියාවිරහිත කිරීමට නියමිත වූවත් රෙදි පිළි ගබඩාකර තිබියදී වායුසමනය කිරීම ක්‍රියාවිරහිත කිරීමට කිසිදු කම්හලකට නොහැකිය. අනෙකුත් බාධකය නම්, ඉතාමත් ප්‍රායෝගික වූ හේතුන් මත කිසිදු කම්හල් හිමියෙකුට සිය සමස්ත ශ්‍රම බලකායෙහි සේවකයනට වෙන වෙනම නවාතැන් පහසුකම් ලබා දීමේ හැකියාවක් නොමැත.
ප්‍රජාතන්ත‍්‍රවාදී හා ‘‘අයිතිවාසිකම්’’ පාදක පිළිතුරු සඳහා ඇති අවශ්‍යතාව
සංක්ෂිප්තව ගත් කල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (who) සියලූ මාර්ගෝපදේශ නාගරික මධ්‍යම පංතික නිවැසියන් සඳහා තීන්දු කරන ලද පියවර විනා, කම්හල් සේවකයින් සඳහා තීන්දු කළ පියවර නොවේ. කම්හල් සඳහා වන මාර්ගෝපදේශ සේවක සහභාගිත්වය ඇතිව යළි ප්‍රදේශගතව අදාලවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව සංශෝධනය කර ප්‍රකාශයට පත් කළ යුතු පියවර වන අතර, එය ද්වීපාර්ශවික කම්හල් සෞඛ්‍ය කමිටු සමගින් කළ හැකිව තිබුණි. එහෙත් හාම්පුතුන් බිය වන හා කම්කරු බලධාරීන් උකටලී වන ප්‍රධාන කාරණයක් ඇත. පළමු වරට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිහිටවූ දා සිට ගෙවුනු අවුරුදු 43 මුළුල්ලේ රට පුරා සේවක සේවිකාවනට වෘත්තීය සමිති ලෙස සංවිධානය වන්නට ඇති මූලික අයිතිය මර්දනය කරනු ලැබිණ. එය ‘කම්හල් සෞඛ්‍ය කමිටු’ මගින් අභියෝගයට ලක් විය හැකිය යන කාරණාවට හාම්පුතුන් බිය වන්නේය. ඔවුන් නොකියන කතාව වන්නේ ලාභ වැඩි කර ගැනීමට සංවිධානය නොවූනු ශ්‍රමිකයින් සූරාකන අයුරු සංවිධානයවූ ශ්‍රමිකයින් සූරා කෑමට නොහැකි බවය.
සිංහල දකුණේ සහ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු-නැගෙනහිර දමිළ-මුස්ලිම් සේවක සේවිකාවන් සම්බන්ධ පොදු ගුණාකාරය වන්නේ වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමේ හා සාමූහිකව කේවෙල් කිරීමේ මූලික අයිතීන් සම්පූර්ණයෙන්ම යටපත් කර අහෝසිකර තිබීමය. එහි එකම වෙනස ඇත්තේ උතුරු-නැගෙනහිරට සාපේක්ෂව සිංහල දකුණ දැනට හමුදාකරණයට පිටතින් තිබීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ,,, වන පරිච්ඡෙදය 14 (1) (ඈ) ව්‍යවස්ථාව මගින් මෙම අයිතිවාසිකම් සහතික කර ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 හා 98 සම්මුති ශ්‍රී ලංකාණ්ඩුව විසින් 1972 හා 1995 වර්ෂයන්හිදී අත්සන් තබා අපරානුමත කර තිබියදී ඒවා සාම්ප්‍රදායික වතුකරයේ හැර, පෞද්ගලික අංශයේ සමස්ථ ශ්‍රම බලකායට නිර්දය ලෙස අහිමි කර ඇත. මෙම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු වෘත්තීය සමිතියක් හෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙනී සිට ඒවා මර්දනය කිරීමට විරෝධය දක්වා නැත. නාගරික සිවිල් සමාජ ක්‍රියාකාරීහුද ‘‘කම්කරු අයිතිවාසිකම්’’තමන් පෙනී සිටිය යුතු මූලික අයිතිවාසිකම් යැයි නොපිළිගත්හ.
සංවිධානය වීමට හා සාමූහිකව කේවෙල් කිරීමට ඇති අයිතිය කිසි විට හෑල්ලූ කළ නොහැකි මූලික අයිතිවාසිකමක් ලෙස නොපිළිගන්නේ නම් උතුරු-නැගෙනහිර, බටහිර හා දකුණ සියලූ සේවකයින්ගේ සේවා ස්ථානයේ ආරක්ෂාව, පරිසරය හා සෞඛ්‍ය හාම්පුතුන් විසින් කිසිදු හේතුවක් නිසා සුරක්ෂිත නොකරන බව යථාර්ථයකි. එවැනි විට කිසිදු කම්හල් සෞඛ්‍ය කමිටුවකට අවසර නොලැබෙනු ඇති අතර, කෝවිඞ් -19 ගැටළු පැවතීම හෝ වඩාත් අයහපත් වීම බලාපොරොත්තු විය යුත්තකි. එනිසා සේවා ස්ථානයන්හි සෞඛ්‍ය, ආරක්ෂාව සහ කොවිඞ්- 19 නිවාරණය සඳහා වූ ඉල්ලීම් වෘත්තීය සමිති හා සාමූහික කේවෙල් කිරීම් සඳහා වූ ඉල්ලීම සමග එකට මතු කළ යුතුව ඇත. එය සේවා ජීවිතය ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීම පිළිබඳ මෙතෙක් ආමන්ත්‍රණය නොකළ කතාවය.
– කුසල් පෙරේරා
සමාජ – දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී



Leave a Reply