හොරාට පෙර කෙසෙල් කැන වැට පැනීම හෙවත් පොලිසිය මහ නායක හිමිවරුන් බැහැ දැකීම (පොලිසියට පෙර කෙසෙල් කැන වැට පැනීම)

නිමල් අබේසිංහ

ශ‍්‍රී ලංකා පොලිසියට වසර 155ක් පිරුණේ සැප්තැම්බර් 03දාය. පොලිසිය වයසින් මුහුකුරා ගියද එහි කීර්තිනාමයක් ඇතත්, එය දිනෙන් දින පළුදුවෙමින් තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවට නෙහොඹිනා දේ එහි ඇතැම් පොලිස් නිලධාරීන් වෙතින් පවා ප‍්‍රදර්ශනය වීම දෙපාර්තමේන්තුවේ පරිහානියේ ලකුණු රටට පමණක් නොව ලොවටම ප‍්‍රදර්ශනයවෙමින් ඇත්තේය.

ආසන්නම සිද්ධිය පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි චෝදනාව මත නඩු පැවරිය යුතු යැයි නිර්දේශ කරන ලද පොලිස් නිලධාරීන්ගෙන් කිහිපදෙනෙක් මහ නායක හිමි නමක් ද නායක හිමි නමක්ද බැහැ දැක තමන්ට එරෙහිව නැගී ඇති එම චෝදනාවෙන් නිදහස් කර දෙන ලෙස කරන ලද ඉල්ලීමය.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම විසින් මෙම නිර්දේශය කරනු ලැබීය. පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දුට සහ එවකට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මේ වනවිටත් නඩු පවරා තිබේ.

එවන් පසුබිමක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරි වික‍්‍රමසේකර යන පිරිස මහ නායක හිමිවරුන් බැහැ දැක පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන නඩු පැවරීමට පාස්කු කොමිසම කර ඇති නිර්දේශය ප‍්‍රකාරව නඩු පැවරීම වළක්වා දෙන ලෙස ඉල්ලීම හොරාට පෙර කෙසෙල් කැන වැට පැන්නා හා සමානය.

මෙය සෙල්ලමක් හෝ හුරතල් වියයුතු හෝ කළ යුතු කාරණාවක් නොවේ. මේ පිරිස සිදුකර ඇත්තේ බරපතළ විනය විරෝධී කටයුත්තකි. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු වන ටෙසී සෙනෙවිරත්න පවසන පරිදි මොවුනට එරෙහිව ක‍්‍රියා කිරීමට දෙපාර්තමේන්තු නියෝග හා ආයතන සංග‍්‍රහය අනුව ක‍්‍රියා කිරීමට ඕනෑතරම් අවකාශ තිබේ.

ආයතන සංග‍්‍රහයේ දෙවන වෙළුමේ XLVIII පරිච්ෙඡ්දය 1-6 රජයේ සේවයේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් හා විනයානුකූල කටයුතු කිරීම සම්බන්ධයෙන් නිලධාරියකු විසින් අන් අයගේ මාර්ගයෙන් හෝ කවරකුගෙන් වුවද අනියම් උදව්වක් ඉල්ලීම; විනයානුකූලව ක‍්‍රියාකිරීම හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 60 වැනි ව්‍යවස්ථාවේ විධි විධාන සැලසී ඇති පරිදි නඩු මාර්ගයෙන් ක‍්‍රියා කිරීමට හෝ තුඩුදෙන බරපතළ විෂමාචාර ක‍්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

ආයතන සංග‍්‍රහයේ සඳහන් තවත් වගන්ති කීපයක් මෙම සිද්ධිය හා ගළපා ගත හැකි බව පෙනේ.

”රජයේ නිලධාරියෙකු විසින් විකිණීමෙන් හෝ වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් හෝ රජයේ දෙපාර්තමේන්තුව විවේචනය කිරීම සඳහාවත් රාජකාරිමය වූ හෝ නොවූ හෝ සිය දුක්ගැනවිලි ප‍්‍රචාරය කිරීම සඳහා ප‍්‍රවෘත්ති මාධ්‍ය යොදා නොගත යුතුය.”

මෙම සිද්ධියේ දී ආයතන සංග‍්‍රහයේ ඉහත වගන්තිය මෙකී නිලධාරීන් විසින් කඩකර තිබේද නැත්ද යන්න විමර්ශනය කළ යුතු නොවේද?

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටෙසී සෙනෙවිරත්න පවසනුයේ එම නිලධාරීන් වෙතින් ඉහත වගන්තිය උල්ලංඝනය වී ඇති බව බැලූ බැල්මට පෙනී යන බවය. ආයතන සංග‍්‍රහයේ සඳහන් තවත් වගන්තියක් වනුයේ රාජ්‍ය සේවය අපකීර්තිමත් වන අයුරින් කටයුතු කිරීමය. එය මෙලෙසය.

”ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීම හෝ ඉඩ හැරීම”,

”රජයට හෝ රාජ්‍ය සේවයට හෝ රාජ්‍ය ආයතනයකට හෝ හානිකර අයුරින් තොරතුරු අනාවරණය කිරීම.”

මෙම කාරණාවේදී පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න ද කොටුවේ. එනම් ජනරජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරීමට ඉඩ හැරීම යන වගන්තිය යටතේය.

රජයට හෝ රාජ්‍ය ආයතනයකට හානිකර අයුරින් තොරතුරු අනාවරණය කිරීමද සිදුව ඇති බව මෙහිදී බැලූ බැල්මට පෙනේ. ජනරජයේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසමක නිර්දේශ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කිරීම මෙහිදී වැදගත්ය. විශේෂයෙන්ම එකී නිර්දේශයන්ට හසුවූවන්ට එසේ විරෝධය පෑම තවත් වැදගත් කාරණාවකි.

මෙම නිර්දේශ ප‍්‍රකාරව තවදුරටත් විමර්ශනයන් කිරීම පැවරෙන්නේ නම් එයද පොලිස් දෙපාර්තමේන්තුවටය. එවැන්නක් සිදුවීමට පෙර මෙසේ ප‍්‍රසිද්ධියේ සිය අදහස් ප‍්‍රසිද්ධ කිරීමෙන් පසුව ඒ ගැන පක්ෂ මෙන්ම විපක්ෂ මතවාදයන් ගොඩ නැගේ. එය එවැනි පරීක්ෂණයක් සිදුවේ නම් ඒ කෙරෙහි යම් බලපෑමකට හේතුවන්නක් විය හැකිය. ඒ හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවටත් මේ කෙරෙන් යම් අනියම් බලපෑමක් සිදුනොවෙතැයි කිව නොහැකිය.

මහ නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මෙසේ පවසා ඇත.

”අපි මහ නායක හිමියන්ගෙන් ඉල්ලන්නෙ මේ අසාධාරණ තීන්දුව වෙනස් කරල අපට විරුද්ධව නඩු පවරනව නම් ඒක නවත්තල සාධාරණ විනිශ්චයක් දෙන්න කියල. අපි වරදක් කරල නෑ. 20ක් 30ක් අතර සංඛ්‍යාවකට රස්සාව අහිිමි කරල, මහ උළු ගෙදර යවන්න සූදානම් වෙනවා. අපිව එල්ලූම් ගස් යවාවි” යනුවෙනි.

මේ ප‍්‍රකාශය මොනතරම් බරපතළ ප‍්‍රකාශයක්ද? නඩු කටයුතු සිදුවන්නේ සිදුවිය යුත්තේ අධිකරණයේය. එවැන්නක් සිදුව ඇතිවා හෝ නැතිවා හෝ තමන්ට ලැබිය හැකි දඬුවමද ඔහු පූර්වයෙන් ප‍්‍රකාශ කරයි. මෙවැන්නක් සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙකු කළේ නම් කුමක් විය හැකිද? තමන් සිංහල බෞද්ධ නිලධාරීන් බවත්, එනිසාම ඔවුන්ට මේ චෝදනාව එල්ල කරතැයි යන්නත් ඔහු එහිදී ප‍්‍රකාශ කිරීම ජාත්‍යන්තර සිවිල් හා සංස්කෘතික අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය (ICCPR) පරිදි මෙරට පනවා ඇති පනතේ වගන්ති උල්ලංඝනය කිරීමේ ලකුණු ද දක්වයි.

කරුණු කාරණා සැලකිල්ලට ගනිද්දී මෙම සංසිද්ධිය ලඝු කළයුතු කාරණාවක් නොවන බව පැහැදිලිය. මේ සඳහා දෙපාර්තමේන්තු මට්ටමින් පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම මට්ටමින් ක‍්‍රියාමාර්ගයක් ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එසේ නොවීම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සමාජ සාධාරණත්වයට පමණක් නොව, පුරවැසියන් රටේ නීතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය පළුදුවීමට හේතුවක් වනු නියතය.

Leave a Reply