15 හැවිරිදි දැරිය විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45යි

15 දැරිය අලෙවි කරන දැන්වීම් පළ කළ ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් නිති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සිද්ධියේ සැකකරුවන් 11දෙනාට එරෙහිව කළ විමර්ශන වලදී මෙය හෙළිව ඇත.
අනෙක් අයගේ ගිනුම්වලද විශාල මුදල් ප්‍රමාණ තිබී ඇති අතර රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල මේවනවිට අත්හිටුවා ඇත.
පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා නමැති ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු සහ  බණ්ඩාරගම  ප්‍රදේශයේ පදිංචි  මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය නමැති වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති.දුමින්ද සම්පත් පෙරේරා නමට රුපියල් කෝටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකානු ඩොලර් 12,199ක මුදලක් ද තබී ඇතැයිද ඒවා මේවනවිට  තහනම් කර ඇතැයිද පොලිස් ආරංචි වාර්තා කර තිබේ. මූල්‍ය කළමනාකාරුගේ ගිණුම්වල ලක්ෂ 70 ක් තිබී ඇත.
ලිංගික කර්තව්‍යයන් සඳහා දැරිය අලෙවි කළ දුමින්ද සම්පත් නමැති සැකකරු  පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවකු වශයෙන් කටයුතු   කරමින් රුපියල් ලක්ෂ 3ක මාසික  ආදායමක් උපයන අයකු බවත්, මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ  වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.විවිධ ලිංගික ක්‍රියාකාරකම්  සම්බන්ධ දැන්වීම් 20,000ක් පමණ  දිනකට මෙම වෙබ් අඩවියේ ප්‍රචාරය වන බවත්, 2021 වර්ෂයේ සිට මේ දක්වා පමණක් එම වෙබ් අඩවියේ දැන්වීම්වලින් රුපියල්  කෝටි 3කට ආසන්න මුදලක් උපයා ඇති බවට අනාවරණය වී ඇති බවත් වාර්තා කර තිබේ.
මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා  ඕස්ටේ‍ලියාවේ  පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම්  සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දැරිය අලෙවි කළ ප්‍රධාන සැකකරු වන මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි ‘රජීව් ජයනාත්” නමැත්තාගේ බැංකු  ගිණුම්වල රුපියල් කෝටි දෙකකට අධික මුදලක් තිබී ඇත.
රජීව් ජයනාත්ගේ අනියම් බිරිඳ මැටිල්ඩා ගේ බැංකු ගිණුම්වල රුපියල්  කෝටියකට අධික මුදලක් ද තිබී ඇත.
මේ සියල්ලන් තවම රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.



Leave a Reply