අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කරන්නැයි මුදල් ඇමති බැසිල් ඉල්ලයි

basil-speaks

කොවිඩ් වසංගතය හමුවේ රට පත්ව ඇති තත්වය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් බව ඊයේ (20) සියලුම ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ආණ්ඩුව මෙන්ම සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීම එන්නත්කරණයේ ප්‍රගතිය අති සාර්ථක වීමට ප්‍රධානම සාධකය බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඉදිරි ආර්ථික වැඩපිළි‍වෙළ සහ එය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා. ඒ අනුව, ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා වූ යෝජනාවලට මූලිකත්වය දෙන ඉදිරි මාස 6ක කාලය තුළ වඩාත් අවධානයෙන් සහ පසු විපරමින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාව මෙහි දී පෙන්වා දෙන ලදි.

ආයෝජකයින් අපහසුතාවයට පත්වන අවස්ථා විධිමත්ව හඳුනාගනිමින් එවැනි අවස්ථා අවම කර ආයෝජකයින් දිරිමත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි පැවසීය.

තමා මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව අර්ථ සාධක අරමුදලෙන් 14% ක බද්දක් අය කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යය බවත් මෙහිදී ඔහු පවසා සිටියේය.

Leave a Reply