රේණුක පෙරේරාට දඬුවම් මාරුවක් – නිවාස සංවර්ධන අධිකාරියෙන් ස්වාධීන රූපවාහිනියට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරෙන් ඉවත් කළ රේණුක පෙ‍රේරා මහතා ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරට පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා. ආයතන පරිපාලනයේදී ඔහු අවිධිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුර හැරයාමට ඔහුට සිදුවිය.
නිවාස සංවර්ධන අධිකාරිය විසින් ලබා දී ඇති නිවාස සඳහා වාරික නිසි පරිදි පියවීමට නොහැකි වූ පුද්ගලයන්ට එරෙහිව ගොනුකර ඇති නඩු 7000 කට අධික ප්‍රමාණයක නිවාස සංවර්ධන අධිකාරියේ නීතිඥවරයා ලෙස රේණුක පෙරේරා මහතාගේ පුත්‍රයා පෙනී සිටී. කෙසේ නමුත් ඔහු ඒ සඳහා ප්‍රමාණවත් සුදුසුකම් නොමැති කණිෂ්ට නීතිඥයෙකු බවයි වාර්තා වන්නේ.
රේණුක පෙරේරා රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතෙකු වන අතර මේ නිසා එල්ල වී ඇති චෝදනා නොතකා ඔහු ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති තනතුරට පත් කිරීමට තීරණය කර තිබේ.
පුරප්පාඩු වී ඇති නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුර බාර ගන්නැයි අනිල් කොස්වත්ත මහතාට යෝජනා කර ඇති නමුත් ඔහු ‍ඒ සඳහා මෙතෙක් එකඟතාවය පළකර නොමැති බවයි වාර්තා වන්නේ. කොස්වත්ත මහතා ලිට්‍රෝ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අතර, ඔහු ඉන් ඉවත් කළහොත් වියත්මග ආරම්භක සාමාජිකයෙකු වන තෙෂාර ජයසිංහ මහතා ලි‍ට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට දැනටමත් තීරණය කර තිබෙනවා.





Leave a Reply