සාර්ථකත්වය 94%යි.. අද ලක්‍ෂ 15ක් ලැබුනු මොඩානා එන්නතේ විස්තරේ මෙන්න…

July 16, 2021 at 12:40 pm | lanka C news

සාර්ථකත්වය 94%යි.. අද ලක්‍ෂ 15ක් ලැබුනු මොඩානා එන්නතේ විස්තරේ මෙන්න…

කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොඟය අද දින (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන එන ලදි.

කටාර් එයාර්වේස් ගුවන් සේවයට අයත් QR 0664 ගුවන් යානයෙන් අද පෙරවරු 9.00 ට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලෙන් මෙරටට ගෙන එන ලද මෙම මොඩර්නා එන්නත් තොඟය බාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියාය.

ඇමරිකානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz) මහත්මිය සහ අන්තර්ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද ආයතනය (USAIDS) අධ්‍යක්ෂ රීඩ් ඇච්ලිමන් මහතා (Mr. Reed Aeschliman), ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූසන් වෝක් (Mr. Susan Walke) යන මහත්වරුන් පැමිණ සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය වන ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් එන්නත් කොඟය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත බාරදුන් අතර, මෙම අවස්ථාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය අලාකා සිං මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ද සහභාගි විය.

මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ කොවිඩ් – 19 වසංගතය පාලනය කිරිමට වැදගත්වන එක් ක්‍රියාමාර්ගයක් ලෙස එන්නත් ලබාදීම අප රටට මහගු අවස්ථාවක් බවත්, කොවිඩ් පදනම හරහා ඇමරිකානු රජයෙන් ලබාදුන් මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව පැවැසිය.

– විරාජ් අබේසිංහ

—-

එම එන්නත සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදු කර ඇති පැහැදිලි කිරීම මෙසේ ය.

—–

ශ්‍රී ලංකාවට එන මෝඩර්නා (Moderna) එන්නත ..

මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක් . මූලික පර්යේෂණ වලදී ඉදිරිපත් වුණු දත්තවලට අනුව 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් මෙම එන්නත මගින් පෙන්වා තිබෙනවා. එමෙන් ම ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බවට විදෙස් රටවල සිදු කල මූලික මට්ටමේ පර්යේෂණ වලින් අනාවරණය වෙමින් පවතිනවා. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ එන්නත් සමාගමක් වන Moderna Inc. මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය වන එන්නතක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක වන COVAX (කොවැක්ස්) පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වනවා.

ෆයිසර් (Pfizer) එන්නතට සමාන තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මෙම එන්නත ගබඩා කිරීම සඳහා සෙල්සියස් අංශක -50 සිට -20 අතර අධි ශීත තත්වයක් පවත්වා ගත යුතු බව දක්වාත් තිබූ නිසා මුල් අවස්ථාවලදී අදාළ යටිතල පහසුකම් නොමැතිව බොහෝ රටවලට මෙම එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පැවතුනා. නමුත්, පසුව සිදුකරන ලද පර්යේෂණ මගින් දින 30 ක කාලසීමාවක් පුරාවට සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක විවෘත නොකළ එන්නත් මාත්‍රා තබාගත හැකි බව සොයා ගැනීමත් සමග බොහෝ රටවලට තිබූ යටිතල පහසුකම් පිළිබඳ ගැටළුවට විසඳුම් ලැබුණා.

ෆයිසර් එන්නත සහ මෝඩර්නා එන්නත යන දෙකම mRNA එන්නත් ලෙස හඳුන්වනු ලබන අතර ඒවායේ ප්‍රතිදේහජනක ය ලෙස අඩංගු වනුයේ කොරෝනා වෛරසයේ spike ප්‍රෝටීන කොටස නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ගබඩා වූ mRNA කොටසක් පමණයි. වාහකයක් ලෙස වෙනත් කිසිදු වෛරසයක් භාවිතා නොකර මෙම mRNA කොටස ආවරණය කිරීම සඳහා ලිපෝප්‍රෝටීන ආවරණයක් පමණක් යොදාගෙන තිබීම මෙහි විශේෂත්වයක්.

මෙම එන්නත ද මාත්‍රා දෙකකින් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට තිබෙනවා.

අනෙක් එන්නත් ලබා ගැනීමෙන් පසුව මෙන්ම මෙම එන්නතෙන් අනතුරුව ද සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් ඉතා කෙටි කාලයකින් සුව වී යන බව නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස ඇතිවිය හැකි සුලබ අතුරු ආබාධ ලෙස වාර්තා වී ඇත්තේ,
එන්නත ලබා දුන් ස්ථානයේ වේදනාව, ඉදිමීම සහ රතු පැහැ ගැන්වීමට, උණ, හිසරදය, වමනය සහ ඇගපත වේදනාව සහ තෙහෙට්ටු ගතියක් ඇතිවීමයි.

කෙසේ නමුත් අනෙකුත් එන්නත් මෙන්ම මෝඩර්නා එන්නත මගිනුත් කොවිඩ් – 19 රෝගයෙන් 100% ක ආරක්ෂාවක් නොලැබෙන නිසා, එන්නතෙන් පසුවත් මෙතෙක් අනුගමනය කළ සෞඛ්‍යය පුරුදු අඛණ්ඩව පිළිපැදීම ඔබේත් ආදරණීයන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු බව අප නැවතත් මතක් කරන්නට කැමතියි.

0 views

Leave a Reply