රසායනික පොහොර තහනම : ඇත්තටම අපිට අවශ්‍ය කුමක්ද?

iMage: theguardian.com

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ තීරණාත්මක ප්‍රතිපත්තිමය වෙනස්කම් අතුරින් ප්‍රධාන පියවරක් වන්නේ රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මෙම තීරණය සමාජය ඉදිරියේ ප්‍රකාශයට පත්කරනු ලැබීමත් සමඟ මේ සම්බන්ධයෙන් මිශ්‍ර ප්‍රතිචාර ඉදිරිපත් වන්නට විය. රජයේ පාර්ශවයෙන් මෙම තීරණයට පදනම ලෙසින් ඉදිරිපත්වූයේ මිනිස් ජීවිත හා ජල මූලාශ්‍ර වෙත ඒවායේ බලපෑම නිසා ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඇති කෙරෙන අයහපත් බලපෑම වලක්වා ගැනීමත්, රසායනික පොහොර ආනයනයට වැයවන එක්සත් ජනපද ඩොලර් මිලියන 400 කට අධික මුදල ඉතිරිකර එය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරලීමට යොදාගැනීමට හැකි වීමත්ය. පොදුවේ ගත්කළ පාරිභෝගිකයින් වෙතින් හා සුලූ‍ පරිමාණයෙන් කාබනික ගොවිතැනෙහි යෙදී සිටි හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන් වෙතින් මෙම තීරණය පිළිබඳ සාධනීය ප්‍රතිචාර පළවූ නමුත් කාලාන්තරයක් තිස්සේ රසායනික පොහොර යෙදාගනිමින් සිය ගොවිතැන් කටයුතුවල යෙදී සිටි මෙරට අතිබහුතර ගොවීන් මේ සම්බන්ධයෙන් පසුවූයේ දෙගිඩියාවකිනි.

මාස කිහිපයක් ගතවෙද්දී, එනම් මෙම කන්නයේ වගා ආරම්භකොට මුල් මාසය පසුවෙද්දී ගොවීන් වෙතින් මැසිවිලි නැගෙන්නට වූයේ සිය වගාවන් නියමිත ලෙස වර්ධනය නොවන බව පවසමිනි. මේ අතර රජය වෙතින් කාබනික පොහොර ආනයනය කිරීමේ අදහසක් ඉදිරිපත් වූ අතර රසායනික පොහොර නොයොදා ගොවිතැන් කිරීම පිළිබඳ අත්දැකීම් ඇති යම් යම් පිරිස් විසින් කියා සිටියේ වෙනත් රටකින් ගෙන්වනු ලබන කාබනික පොහොර මෙරට පසට එක් කිරීමෙන් රසායනික පොහොර එක් කිරීමට වඩා දීර්ඝ කාලීන පාරිසරික බලපෑම් ඇතිවිය හැකි බවයි. ක්‍රමයෙන් ගොවීන්ගේ අසතුට උද්ඝෝෂණ දක්වා වර්ධනය වූ අතර කොවිඞ් සංචරණ සීමා මැද පොහොර ඉල්ලා ගොවීන් තැනින් තැන උද්ඝෝෂණය කරන්නට පටන් ගත්තේ වර්ධනය වෙමින් පවත්නා තත්ත්වය තුළ තමන්ට නිසි අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව පවසමිනි. අනාගත ආහාර හිඟයක් පිළිබඳ අනාවැකි ද තැනින් තැන ඇසෙන්නට විය.

මේ අතර පසුගිය දා අලුතින් පත්වූ මුදල් අමාත්‍යවරයා කාබනික ගොවිතැන කරා පියවර වශයෙන් යාමේ අරමුණ ඇතිව සීමා සහිතව රසායනික පොහොර ආනයනයට අවසර දීමට අදහස් කරන බවට සමහර තැනක ප්‍රවෘත්ති පළවිය. මේ අතර කාබනික වගාව ප්‍රවර්ධනය පිළිබඳ නව රාජ්‍ය අමාත්‍ය ධූරයක්ද ඇති කරනු ලැබිණි.

කෙසේවෙතත් රජයේ රසායනික පොහොර ආනයන තහනම පිළිබඳ තීරණය නිශ්චිතව වෙනස් වන්නේ ද, නොවන්නේ ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් මෙම ලිපිය ලියන මොහොත දක්වාම ජනතාවට නිසි ලෙස සන්නිවේදනය වී නොමැත. මෙම ලිවීමේ අරමුණ වන්නේ රසායනික පොහොර නොමැති වගාවක් තුළින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවේද යන්න පිළිබඳ කිසියම් අදහසක් ලබාගැනීම සඳහා පිටුවහලක් වියහැකි කරුණු කිහිපයක් මතුකර දැක්වීමයි.

හරිත විප්ලවය සහ රසායනික පොහොර භාවිතයේ ඇරඹුම

මෙරට තුළ පුළුල් ලෙස රසායනික පොහොර භාවිතය හඳුන්වාදෙනු ලබන්නේ 1960-70 දශකවල ලෝක පරිමාණයෙන් හරිත විප්ලවය සමඟ ඇතිවන නව වැඩිදියුණු කරන ලද බීජ වර්ග හා රසායනික පොහොර හඳුන්වා දීමේ රැල්ලට සමාන්තරවය. ලොව පුරා කුසගින්න පිටුදැකීම සඳහා වන තාක්ෂණික මැදිහත්වීම පෙරටුකොටගත් දැවැන්ත වැඩපිළිවෙලක් ලෙස ප්‍රවර්ධනය කෙරෙන හරිත විප්ලවය තුළ විවිධාකාර බටහිර සමාගම් විසින් වැඩිදියුණූ කරනු ලැබූ වැඩි අස්වැන්නක් ලැබෙන නව බීජ වර්ග රසායනික පොහොර යොදාගනිමින් මහා පරිමාණයෙන් වගා කිරීම සිදුකිරීම ඇරඹීම තුළ සිදුවූ ප්‍රධානතම පෙරලිය වන්නේ ලොව පුරා කෘෂිකර්මාන්තය දැවැන්ත බහුජාතික සමාගම් අතට පත්වීමයි. මෙම ක්‍රියාවලිය තුළ අක්කර දහස් හෝ ලක්ෂ ගණන් පුරා එකම භෝගය මහා පරිමාණ යන්ත‍්‍රසූත්‍ර යොදාගනිමින් වගා කෙරෙන ගොවිබිම් නිර්මාණය වූ අතර ගොවිතැන සඳහා මෙබඳු මහා පරිමාණ ප්‍රාග්ධන ආයෝජන සිදුකළ හැකි සමාගම් කෘෂිකර්මාන්තයේ ප්‍රධාන බලවේගය බවට පත්වීම මෙහිදී වැළැක්විය නොහැකි විය. කාර්මික රටවල සීමිත සම්පතක් වූ ඉඩම්, ඇති පදම් ආසියානු හා ලතින් ඇමරිකානු රටවල තිබීමත්, ඒවායේ පැවැති ලාභ ශ්‍රමයත් නිසා බොහෝ කෘෂි නිෂ්පාදන දැවැන්තයෝ මෙම කලාප දෙක වෙත වේගයෙන් ආකර්ෂණය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් ගෝලීය ප්‍රාග්ධන සංසරණ චක්‍රයේ ඍජු කොටසකරුවන් නොවූ විශාල භූගෝලීය ප්‍රදේශයක් ඊට සම්බන්ධ කිරීමට හැකිවූයේ ප්‍රාග්ධනයේ කේන්ද්‍රයේ පිහිටි ආයෝජකයින් පරිවාරයේ රටවල ගොවිබිම් වෙත කෙරෙන ආයෝජනයන් හා ඒවායේ ශ්‍රමය යොදාගෙන කරනු ලබන කෘෂි නිෂ්පාදන නැවත කේන්ද්‍රයේ වෙළඳපොල වෙත ගෙන ඒම මේ හරහා සිදුවූ බැවිණි.

අනෙක් අතට කුඩා ප්‍රමාණයේ ඉඩම්වල අවම ප්‍රාග්ධන ආයෝජනයක් සහිතව ගොවිතැන් කළ ගොවීන් වෙත මෙම නව බීජ වර්ග හඳුන්වාදීමත් සමඟ ඔවුන්ගේ ගොවිතැන වඩ වඩා රසායනික පොහොර මත යැපීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය විය. මෙහි ප්‍රතිඵලය වූයේ ඔවුන් බීජ හා පොහොර සඳහා ඒවා නිපදවන සමාගම් වෙත යැපෙන තත්ත්වයට පත්වීමයි. මෙහි ඍජු හා කැපී පෙනෙන ප්‍රතිඵලය වූයේ ඔවුන්ගේ අස්වැන්න වර්ධනය වීමයි. අනෙක් ප්‍රතිඵලය වූයේ මෙතෙක් කාලයක් ඔවුන්ගේ වගාවේ තිබූ බහු භෝග ස්වරූපය අවම වෙමින් බොහෝ දුරකට ඒක භෝග වගාවක් වෙත ඔවුන් යොමුවීමයි. එමෙන්ම එතෙක් තමන්ගේ බීජ තමන් විසින්ම නිෂ්පාදනය කරගැනීමේ පුරුද්ද වෙනුවට බීජ ලබාගැනීම සඳහා බීජ නිෂ්පාදනය හා වෙළඳමේ නියුතු සමාගම් වෙත යොමුවීමට ඔවුන්ට සිදුවිය.

සහලින් ස්වයංපෝෂිත තුන්වේල බත් කන ජාතියක්

මෙහි ප්‍රතිඵල විසින් දශක කිහිපයක් තුළ මෙරට ආහාර නිෂ්පාදනය දැවැන්ත විපර්යාසයකට ලක් කිරීමට සමත්විය. මෙම නව ප්‍රවණතාව දිරිගන්වනු පිණිස මෙරට ස්වයංපෝෂිත ඉතිහාසයක් පැවතුනේය යන පෙරදිග ධ්‍යාන්‍යාගාරය පිළිබඳ අදහස ද තුන් වේල බත් කන ජාතියක්ය යන අදහස ද ප්‍රවර්ධනය කරනු ලැබිණි.

සාම්ප්‍රදායිකව මෙරට ජනයා තුන්වේල බත් කෑ පිරිසක් යැයි ව්‍යවහාරයේ පැවතිය ද එය එසේ යැයි කීමට ඇති සාක්ෂි අවමය. ඇත්ත වශයෙන්ම දැනට පවත්නා සාක්ෂි විසින් කියාපාන්නේ මෙරට ජනයාගේ ආහාර සංස්කෘතිය අතිශය විවිධත්වයෙන් යුතු එකක් වූ බවයි. එනම් සහල් ඇතුලූ‍ විවිධ ධාන්‍ය වර්ග විශාල සංඛ්‍යාවක්, විවිධ අල වර්ග, විවිධ කැඳ වර්ග යනාදී වශයෙන් විශාල විවිධත්වයක් මෙරට ජනයාගේ ආහාරය තුළ අන්තර්ගත විය. මෙරට සාම්ප්‍රදායික ගොවිතැන තුළද මෙම ගතිකය හඳුනාගත හැකි විය. නමුත් නව වැඩිදියුණු කළ බීජ වර්ග හා රසායනික පොහොර භාවිතය හඳන්වාදීමත් සමඟ එකී විවිධත්වය වෙනුවට වී යන තනි භෝගයට ප්‍රමුඛත්වය හිමිවිනි. එතැන් සිට මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන අරමුණවූයේ මෙරට සහලින් ස්වයංපෝෂිත කිරීමයි. මෙහි ප්‍රතිඵලය ලෙස වර්තමානය වන විට මෙරට සමස්ථ වගා බිම්වලින් (තේ ඇතුලූ‍ අපනයන භෝගද ඇතුළත්ව ගත්කල) 34% ක්ම වී වගාවට වෙන්වී ඇත. එක් මහ කන්නයකදී හෙක්ටෙයාර 560,000 ක් තරම් වී වගා කෙරෙන අතර පවුල් මිලියන 1.8 ක් පමණ වී ගොවිතැනෙහි පමණක් නිරතව සිටිති. සහල් පරිභෝජනය ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර වෙනත් ධාන්‍ය, අල වර්ග හා කැඳ වර්ග හා අනෙකුත් ආහාර වලින් සමන්විතව තිබූ විවිධත්වයෙන් වැඩි ආහාර වේල වෙනුවට සහල් පදනම් කොටගත් ආහාර රටාවකට ජනයා හුරුවී සිටිති. සාමාන්‍යයක් ලෙස ගත්කළ මෙරට ජනයාගේ සමස්ත කැලරි අවශ්‍යතාවෙන් 45% පමණ සම්පූර්ණ කරන්නේ බත් විසිනි. සහල් පරිභෝජනය එතරම් වර්ධනය වී තිබියදීත්, පසුගිය දශක 5-6 ක කාළය තුළ මෙරට සහල් නිෂ්පාදනය කෙතරම් ඉහල ගියේද යත් 1960 වන විට සහල් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කළ මෙරට මේ වන විට සිය වාර්ෂික සහල් අවශ්‍යතාවෙන් 95% කට වැඩි ප්‍රමාණයක් මෙරටදීම නිෂ්පාදනය කරයි. දශක ගණනක් තිස්සේ සිදුවූ නව වැඩිදියුණු කරන ලද බීජ වර්ග හඳුන්වාදීම සහ වසරින් වසර වැඩි කරමින් පැමිණි රසායනික පොහොර සහනාධාරය සහල් නිෂ්පාදනයේ සිදුවූ දැවැන්ත පෙරළියට හේතු විය. අනෙක් අතට මෙම ක්‍රියාවලිය තුළ මෙරට පැවැති සිය ගණනක් වූ දේශීය සහල් හා අනෙකුත් ධාන්‍ය ප්‍රභේද භාවිතයෙන් ඉවත්ව වඳ වී යාමත්, මෙරට ආහාර රටාව දැවැන්ත විපර්යාසයකට ලක්වෙමින් එහි පැවැති විවිධත්වය අහිමිව යාමත් සිදුවිනි.

මේ කෘෂිකාර්මික නිෂ්පාදනය කා වෙනුවෙන් ද?

මෙරට එළවලු හා පළතුරු නිෂ්පාදනය ද මේ හා සමාන පර්වර්තනයකට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි අස්වැන්නක් ලැබෙන කෙටි කාලීන එළවලු හා පළතුරු බීජ වර්ග හඳුන්වාදීමත් සමඟ දේශීයව පැවැති එළවලු හා පළතුරු ප්‍රභේද ක්‍රමයෙන් වඳවී ගියේය. මෙහි ප්‍රතිඵලය වූයේ මීට පෙර තමන් විසින්ම නිෂ්පාදනය කරගත් බීජ වෙනුවට ගොවියාට වඩ වඩාත් බීජ නිෂ්පාදනය හා බෙදාහරින සමාගම් වෙත යොමුවීමයි. මෙම බීජ මඟන් වැඩි අස්වැන්න ලබා ගැනීම සඳහා අවශ්‍ය රසායනික පොහොර හා එකී භෝග සඳහා වැළ‍‍ඳෙන රෝග හා කෘමි උවදුරු සඳහා වන පලිබෝධ නාශක ද එකී සමාගම් වෙතින්ම මිළදී ගැනීමට ගොවීන්ට සිදුවිනි. එයට හේතුවූයේ පාරම්පරික බීජ සඳහා ගොවීන් භාවිතා කළ පලිබෝධනාශක උපක්‍රම නව බීජ යොදාගෙන කරන වගාවන් කෙරෙහි සාර්ථක නොවීමයි. මේ අනුව බීජය, පොහොර හා කෘමිනාශක යන සියල්ල තීරණයවූයේ මහා පරිමාණ සමාගම්වල නිර්දේශයන්ට අනුකූලවය. මීට සමාන්තරව ගොවීන් විසින් පාරම්පරික ලෙස කරගෙන ආ ලෙස සිය බීජ තමන් විසින්ම නිෂ්පාදනය කරගැනීම සියලූ‍ රජයන් විසින් අධෛර්යමත් කරනු ලැබූ අතර එක් අවස්ථාවක එසේ බීජ නිෂ්පාදනය කිරීම හා ළඟ තබාගැනීම වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි වරදක් බවට පත්කෙරන නීති සම්පාදනයක් පවා පැනවීමට උත්සාහයක් දරනු ලැබිනි.

අවසානයේ අද වන විට බොහෝවිට ගොවීන් සමාගම් වෙතින් බීජ මිළදී ගන්නා අවස්ථාවේදීම (බොහෝවිට ගොවීන් මෙම බීජ ලබාගන්නේ අස්වැන්න විකුණා ණය පියවීමට එකඟවය) මුලු කන්නය සඳහාම වන රසායනික පොහොර හා කෘමිනාශකද ඇතුළත් ගිවිසුමකට එලැඹීමට ගොවීන්ට සිදුව ඇත. ඒ අනුව සිය ගොවිතැන සඳහා අවශ්‍ය වුවත්, නොවූවත් ගිවිසුම අනුව තමන්ට ලබාගැනීමට සිදුවන පොහොර හා කෘමිනාශක ප්‍රමාණය ඔවුන් විසින් වගාවට එක් කරනු ලබයි. මෙසේ විශාල වශයෙන් ණයගැති භාවයට පත්වන ගොවියෝ සිය අස්වැන්න නෙලා එය විකුණා එයින් වැඩි මුදලක් යොදවනුයේ පෙර කී ගිවිසුම්ගත ණය ගෙවාදැමීම සඳහාය.

කාළගුණ තතත්වයන්ගේ වෙනස්වීම්, සතුන් විසින් වගා පාලූ‍ කිරීම, අස්වැන්න සඳහා නිසි මිළක් නොලැබීම යනාදී කරුණු හේතුකොටගෙන ගොවීහු නිතර සිය වගාවෙන් අපේක්ෂිත ආදායම උපයා ගැනීමට අසමත් වෙති. එහි ප්‍රතිඵලය ඒ වන විට ගිවිසුම්ගතව ණය වී සිටින ඔවුන්ට එයින් මිදීමට නොහැකි වීමත්, ඊළඟ කන්නය සඳහා ණයට බීජ ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමත්ය. අස්වැන්න වර්ධනය වුවද, මෙම සමාගම් මත රඳා පැවතීමට සිදුවන ණය ක්‍රමවේදයක් මත කටයුතු කිරීමට සිදුවීම හේතුකොටගෙන (මීට තවත් සාධක බලපායි) මෙරට ගොවීහු ණයගැතිභාවයේ විෂම චක්‍රයකට ගොදුරුව සිටිති. මෙසේ තවදුරටත් නඩත්තුවන මෙරට ග්‍රාමීය දරිද්‍රතාවය හේතුකොටගෙන රජයන්ට වසරින් වසර වැඩි වැඩියෙන් පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදල වැඩි කිරීමට සිදුව ඇත්තේ එය නොමැතිව ගොවිතැනෙහි නිරත පිරිස් තවදුරටත් කෘෂිකර්මාන්තය තුළ රඳවා කබා ගැනීම කළ නොහැක්කක් බවට පත්ව ඇති බැවිනි.

මෙරට ආහාර නිෂ්පාදනය හරිත විප්ලවයත් සමඟ හඳන්වාදෙනු ලැබූ ඉහත විස්තර කළ පියවර සමඟ වර්ධනයවූවා සේම වාර්ෂිකව එකී නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපතේ යෑමද සිදුවේ. දුර්වල ප්‍රවාහන හා ඇසුරුම් ක්‍රම සහ කල්තබා ගැනීමේ පහසුකම්, ආහාර පරීක්ෂණ තාක්ෂණ වර්ධනය නොවීම නිසාවෙන් මෙරට එළවලූ‍ හා පළතුරු නිෂ්පාදනයෙන් 40%-60% අතර ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙත යාමට පෙර විනාශ වී යයි. මෙහිදී පැන නඟින ප්‍රශ්ණය වන්නේ යම්හෙයකින් නිසි ක්‍රමවේද යොදාගනිමින් එකී අපතේ යාම අවම කරගත්තේ නම් මෙතරම් විශාල පිරිවැයක් දරමින් මෙතරම් විශාල නිෂ්පාදනයක් සිදුකළ යුත්තේ ද යන්නයි. නැතිනම් එවන් ක්‍රියාමාර්ග මඟින් ඉතිරිවන නිෂ්පාදන අතිරික්තය අපනයනය කළහැකි නොවන්නේද යන්නයි. මෙරට සමස්ත කෘෂිකර්ම ක්ෂේත්‍රය දෙය බැලූකල බැලූ බැල්මට පෙනී යන කාරණය වන්නේ මෙම සියලු සාධක විසින් නිර්මාණයකොට ඇති කෘෂි නිෂ්පාදන ක්‍රමවේදය තුළ නිරූපනය වන්නේ එය හුදෙක් බීජ, පොහොර, කෘමිනාශක නිපදනවන කෘෂි සමාගම් සඳහා වෙළඳපොලක් සකස්කරදීම වෙනුවෙන් පවත්වාගෙන යන ස්වරූපයකි. එකී සමාගම් විසින් හඳුන්වාදී ඇති සීමිත බීජ වර්ග සංඛ්‍යාවක් ඔවුන්ගේ රසායනික පොහොර හා කෘමිනාශක යොදාගෙන වගාකරන අපි අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් භාවිතයට නොගෙන විනාශකර දමමු. අනෙක් අතට එකී රසායනික භාවිතය හේතුකොටගෙන මෙරට පස හා ජල මූලාශ්‍ර වෙත විෂ රසායනික විශාල වශයෙන් වාර්ෂීකව එක්වන අතර සාම්ප්‍රදායික ගොවිතැන සඳහා අවශ්‍ය වූ සතුන් හා ක්ෂූද්‍ර ජීවින් සම්පූර්ණයෙන්ම විනාශ වීමටත්, මෙරට ජනයාගේ සෞඛ්‍ය කෙරෙහි බලවත් තර්ජන (නිශ්චිතවම හේතුව නොදන්නා වකුගඩු රෝගය ද ඇතුළත්ව) නිර්මාණය වීමටත් මඟ පෑදී ඇත.

රසායනික පොහොර තහනම් කිරීම පමණක් ප්‍රමාණවත්ද?

වර්තමාන රසායනික පොහොර ආනයන තහනම ඉදිරිපත් වන්නේ ඉහත විස්තර කළ සන්දර්භය තුළය. රසායනික පොහොර ආනයනය විසින් සිදුකොට ඇත්තේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ඉහත විස්තර කරන ලද කවර හෝ විපර්යාසයක් නොසලකා හුදෙක් රසායනික පොහොර පමණක් එයින් ඉවත් කිරීමට උත්සාහ කිරීමයි. බීජ නිෂ්පාදනය නොකරන ගොවියා තවදුරටත් බහුජාතික කෘෂි සමාගම් විසින් නිෂ්පාදනය කරන බීජ මත යැපෙන අතර රසායනික පොහොර හා එකී සමාගම් විසින්ම නිෂ්පාදනය කරන කෘමිනාශකවලින් තොරව එකී බීජ වගාවෙන් සැලකිය යුතු අස්වැන්නක් ලබාගත නොහැක. සිය බීජ තමන්ටම නිෂ්පාදනය කරගැනීමට ගොවීන්ට දැනුම හා පසුකම් සැලසීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන බවක් පෙනෙන්නට නැත. මහා පරිමාණ සමාගම්වල බීජ ඒකාධිකාරයට නැවතීමේ තිත තැබීමේ කිසිදු සූදානමක පෙර නිමිත්තක් හෝ අපට නොපෙනේ. අනෙක් අතට නැවත රසායනික පොහොර භාවිතයට පෙර පැවැති ආකාරයේ ස්වභාවික ගොවිබිමකින් ලැබෙන පෝෂණය අපගේ වගාවන්ට දැන් අපේක්ෂා කළ නොහැක්කේ දශක ගණනාවක් තිස්සේ ඒක භෝග වගාව සිදුකරන ලද, රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය හේතුකොටගෙන පස සාරවත් කරන පාංශු ජීවීන් හා පසට නයිට්‍රජන් හා පොස්පරස් එක්කිරීමට දායක වන ක්ෂූද්‍ර ජීවීන් අපගේ ගොවිබිම්වලින් මේ වන විට විනාශ වී ගොස් ඇති බැවිනි. එමෙන්ම තවදුරටත් අප සිදුකරනේ ඒක භෝග වගාවක් මිස පසට විවිධ පෝෂණ සංඝටක අනෙකුත් වගාවන් හා ස්වභාවිකව වැවෙන ශාක මගින් එක්කෙරන මිශ්‍ර භෝග වගාවක් නොවේ. ඒ අනුව රසායනික පොහොර භාවිතයෙන් තොරව වගාව සාර්ථක කරගැනීමට නම් එකී ජීවීන් නැවත අපගේ ගොවිබිම් වෙත ක්‍රමිකව හඳුන්වා දිය යුතුය. එය තරමක කාලයක් ගතවන කාර්යයකි. පසට නයිට්‍රජන් එක්කෙරෙන රනිල භෝග වගාව, සත්ව පාලනය ඔස්සේ ගොවි බිමට ගව මූත්‍ර එක් කිරීම වැනි උපක්‍රම මෙහිදී නැවත ක්‍රියාවේ යොදවන විධිමත් වැඩසටහන් නොමැත. වර්තමාන ගොවීන් බහුතරයකට ඒ පිළිබඳ නිසි වැටහීමක් නොමැති අතර වර්තමාන ක්ෂේත්‍ර මට්ටමේ කෘෂි උපදේශකයින්ට ද ඒ පිළිබඳ නිසි පුහුණුවක් ලබා දී නැත. අනෙක් අතට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් පාංශු ජීවීන් ආරක්ෂා කරගැනීම කළ නොහැකි අතර එසේ යන්ත්‍ර සූත්‍ර භාවිතය අවම කිරීමේදී ගොවිතැනේදී වැඩි වශයෙන් මිනිස් ශ්‍රමය යොදාගැනීමට සිදුවේ. නමුත් වර්තමානය වන විට මහා පරිමාණ යන්ත්‍රසූත්‍ර යොදාගෙන කෙරෙන ගොවිතැන සඳහා අවශ්‍ය අවම ශ්‍රමය පවා සපයාගනු ලබන්නේ අසීරුවෙනි. අනෙක් අතට මෙරට ජනපදකරණය, ඉඩම් ප්‍රදානයට අදාල නීති සම්පාදනයන් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය ව්‍යුහාත්මකව කෘෂිකර්මාන්තය වෙත කාන්තාව (මෙරට ජනගහනයෙන් 52% වන) ඇතුළත් කරගැනීමට සමත්ව නැත (එසේ තිබියදීත් ආහාර නිෂ්පාදනයේ කාන්තාවන් අදට ද විශාල කාර්යභාරයක් ඉටු කරති). ඒ අනුව රසායනික පොහොර භාවිතයෙන් තොර ගොවිතැනක් සඳහා ගොවීන්ගේ ශ්‍රමය වඩාත් සාමූහිකව යොදාගත හැකි එකමුතු ගොවිතැනක් සැලසුම් කිරීම අවශ්‍ය වේ. එමෙන්ම බහුභෝග ගොවිබිමක් පිළිබඳව කල්පනා කරන්නේ නම් වර්තමාන ගොවිබිමේ ස්වරූපය පිළිබඳව පවා නැවත සිතීමට සිදුවේ. එමෙන්ම සිය ගොවිබිම උපරිම ඵලදායීතාවයකින් යුතුව යොදා ගැනීම සඳහා ගොවීන් දැනුවත් කළ යුතුය.

මේ සියල්ලට වසර ගණනාවක්, සමහරවිට දශකයක පමණ කාලයක් ගතවනු ඇත. එතෙක් අනිවාර්ය ලෙසම අස්වැන්නේ සැලකියයුතු අඩු වීමත් අපේක්ෂා කිරීමට සිදුවේ. එවන් තත්ත්වයකට මුහුණ දීමට නම් අනිවාර්ය ලෙසම ප්‍රවාහනයේදී සිදුවන අස්වනු විනාශය අවම කිරීමට පියවර ගත යුතුය. නව ඇසුරුම් ක්‍රම සහ කල්තබා ගැනීමේ පහසුකම් වැඩිදියුණු කරමින් ආහාර පරීක්ෂණ තාක්ෂණයන් හඳුන්වා දෙමින් ලැබෙන අඩු අස්වැන්න අවුරුද්ද පුරාම පරිරක්ෂණය කරමින් අපතේ යාම අවම කරගනිමින් විධිමත් බෙදාහැරීමකට ලක්කිරීමට සිදුවේ. එමෙන්ම මෙරට ආහර පරිභෝජන රටාවේ පවා ගුණාත්මක වෙනස්කම් ප්‍රවර්ධනය කිරීම සඳහා ද දැවැන්ත මෙහෙයුමක් අවශ්‍යය. එසේ නොමැතිනම් උග්‍ර අහාර අර්බුදයකට මුහුණදීමට හෝ මහා පරිමාණයෙන් ආහාර ආනයනයට හෝ සිදුවනු ඇත. එමෙන්ම ගොවියා හා පාරිභෝගියා අතර මේ වන විට නිර්මාණය වී ඇති විශාල ලාභයක් උපයන බලවත් අතරමැදි ජාලය පවත්වාගනිමින් සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකි වනු ඇත්තේ අස්වැන්න අඩුවීම නිසා තාවකාලිකව පීඩාවට පත්වන ගොවියාගේ නිෂ්පාදනයට පාරිභෝගිකයා ගෙවන මුදලින් වැඩි ප්‍රමාණයක් මෙම අතරමැදියන් විසින් ලබා ගන්නා බැවිනි. එවන් තත්ත්වයකදී තවදුරටත් පාඩු විඳීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ගොවියා ගොවිතැනින් ඉවත් වීමත්, එකී ගොවිබිම් පාලූ‍වී යාමත් වැළැක්විය නොහැකි වනු ඇත. නමුත් මේ මොහොතේ අප දකින්නේ මේ සංකීර්ණ ප්‍රශ්ණය වෙත එවන විධිමත් බහුත්ව එලැඹුම් ප්‍රවේශයකින් යුතුව වන දැනුවත් මැදිහත්වීමකට වඩා හුදෙක් රසායනික පොහොර භාවිතය පමණක් අතහැර දැමීමේ එලැඹුමකි. එවන් අවිධිමත් හදිසි එලැඹුමක් විසින් සිදුකරනු ඇත්තේ මෙරට කෘෂිකර්මාන්තයත්, ගොවියාත් තවදුරටත් අසීරු අඩියකට ඇද දැමීම හා මෙරට ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් බරපතල අභියෝග නිර්මාණය කිරීමත් පමණි.

පරිවර්තනයට අපි සූදානම්ද?

නමුත් පොදුවේ ගත්කළ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙත වන රජයේ එලැඹුම තුළ නිරූපනය වන්නේ මෙහි ඉහත විස්තර කරනු ලැබූ ආකාරයේ මහා පරිමාණ විපරිවර්තනයක් සඳහා වන සූදානමක් නොව වසර 50-60 ක් තිස්සේ ඉදිරියට ගෙනා ආ පිළිවෙතම ක්‍රියාවේ යෙදවීමකි. මහා පරිමාණ සමාගම් සඳහා අධික ලෙස පොහොර හා කෘමිනාශක යොදාගෙන සිදුකරනු ලබන අපනයනය ඉලක්ක කොටගත් වගාවන්ට අක්කර දහස් ගණනින් ලබාදෙනු ලබන්නේ මෙරට ඉඩම් එකී සමාගම්වල ලාභ උත්පාදනය සඳහා වෙන්කර දෙමිනි. මේ මෙම ලිපියේ මුලදී විස්තර කළ ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රයේ රටවල සමාගම්වලට ඉඩම් හා ලාභ ශ්‍රමය යොදාවා සිය කාර්මික කෘෂිකර්මාන්තය ගෝලීය වෙඳපොල සඳහා කරගෙන යාමට පහසුකම් සැලසීමකි. මෙලෙස ලබාදුන් අක්කර ලක්ෂ ගණනක වගා කටයුතු එකී සමාගම් විසින් මේ වන විටද කරගෙන යනු ලබන අතර තව තවත් එසේ ලබාදීම සඳහා ඉඩම් හඳුනාගැනීමේත්, ඒ සඳහා වන නෛතික බාධාවන් ඉවත්කිරීමේත් උත්සාහයන් දිගින දිගටම අසන්නට ලැබේ. මෙසේ මහා පරිමාණයෙන් වනගත ප්‍රදේශ එළිපෙහෙලි කරමින් කාර්මික කෘෂිකර්මාන්තයට ලබාදීම හේතුවෙන් සිය නිජභූමිය අහිමිවන අලි ඇතුන් ඇතුලූ‍ වන සතුන් ගම් වදිමින් මෙරට ගොවීන්ගේ ගොවිබිම් වෙත අතිවිශාල හානියක් සිදුකරති. එමෙන්ම ඉහත විස්තර කළ අවිධිමත් එළැඹුම තුළ මෙරට ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වුවහොත්, ඔවුන්ට සිදුවන්නේ මහා පරිමාණ සමාගම්වල කාර්මික කෘෂිකාර්මික ව්‍යාපෘතිවල වැටුප් ශ්‍රමිකයින් බවට පත්වීමටය. ඔවුන් විසින් අත්හැර දමනු ලබන ගොවිබිම් නැවත මහා පරිමාණ සමාගම්වල වගාවන් වෙත ලබාදෙනු ලැබිය හැකිය.

මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධ‍යෙන් ගත්කළ අද දක්වාම මෙරට නිදහසේ සිට අපට දැකගැනීමට හැකිවී ඇත්තේ මෙවන් සැලසුම් විරහිත මැදිහත්වීම්ය. උදාහරණයක් ලෙස වැල්ලවාය ප්‍රදේශය ගතහොත් 1950 දශකයේදී එම ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩම් වෙන්කොට එක් පවුලකට අක්කර 5 බැගින් ලබා දී ජනපද පිහිටුවමින් ජනතාව එහි පදිංචි කරනු ලබන්නේ වී ගොවිතැන ප්‍රචලිත කරමින් සහලින් මෙරට ස්වයංපෝෂීත කරනු පිණිසය. නමුත් ඒ සඳහා වන විධිමත් ජලසම්පාදන වැඩසටහනක් නොවීම නිසාත්, නිරන්තර නියඟය නිසාත් වසරකට එක් කන්නයක් හෝ ගොවිතැන් කිරීම අතිශය අසීරු විය. පසුකාලීනව මෙම ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනය කෙරුනේ ඒ වන විට පොල් මෙරට තුන්වන අපනයන භෝගයව පැවැති බැවිනි. නමුත් ටික කලකින් අක්කර දස දහස් ගණනක් උක් වගාව සඳහා බහුජාතික සමාගමක් වෙත ලබාදෙනු ලැබූයේ පෙර සැලසුම් සියල්ල උඩු යටිකුරු කරමිනි. පසුකාලීනව වෙහෙරගල ජලාශය නිර්මාණය කිරීමත් සමඟ එම ප්‍රදේශයේ ජල ගැටලූ‍ව විසඳමින් වී වගාව සඳහා අවශ්‍ය තත්ත්වය නිර්මාණය විය. නමුත් තවදුරටත් එම ප්‍රදේශයේ ප්‍රවර්ධනය කෙරෙමින් පවතින්නේ මහා පරිමාණ ඒක භෝග වගා ව්‍යාපෘති සඳහා සමාගම් දිරිමත් කිරීමේ ප්‍රවේශයකි. අවසන් ප්‍රතිඵලය ලෙස ගොවීහු කෘෂි ව්‍යාපාරවල ශ්‍රමිකයින් බවට පත්වීමත්, මහා පරිමාණ වගාවන් වෙනුවෙන් සිය භූමියෙනේ පලවා හරිනු ලැබූ අලින් හා ගමිමානවල ජනයා අතර දැවැන්ත අලි-මිනිස් ගැටුමකුත් නිර්මාණය වී ඇත. ගොවීයා තවදුරටත් දරිද්‍රතාවයේ ගිලී සිටී.

මෙම ලිපියේ නැවත නැවතත් විස්තර කළ පරිදි වර්තමාන රසායනික පොහොර තහනම තුළද මීට වඩා වෙනස් ප්‍රවේශයක් හඳුනාගත නොහැක. දශක ගණනාවක් තිස්සේ වර්ධනය කෙරුනු මහා පරිමාණ බහුජාතික සමාගම් වෙත පවරනු ලැබූ කෘෂිකර්මාන්තය වෙනුවට සුලූ‍ ගොවියා සිය නිෂ්පාදනයේ කාරකත්වය හා අයිතිය හිමිවන, ඔවුන්ට එහි සැබෑ ප්‍රතිලාභ හිමිවන, මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු වන, මෙරට ජනතාවගේ සෞඛ්‍යට හිතකර කෘෂිකර්මාන්තයක් හුදෙක් රසායනික පොහොර තහනම් කිරීමෙන් පමණක් කළ හැක්කේ යැයි සිතීම මුලාවකි. අද වන විට සමහරුන් සැක පළකර ඇති පරිදි රජයේ මෙම තීරණය තුළ අසීරු ආර්ථීක තත්ත්වයක් තුළ පොහොර සහනාධාරය සඳහා වියදම් කිරීමට සිදුවන මුදල ඉතිරි කරගැනීමේ සරළ එලැඹුම හැර ඊට වඩා දියුණු ප්‍රවේශයක් පෙනෙන්නට නොමැත. එසේ තිබියදීත් පාරිසරික කෘෂිකර්මාන්තය කෙරෙහි උනන්දු පිරිස් විසින් රසායනික භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තයක් පිළිබඳ පිළිබඳ පුලූ‍ල් සංවාදයක් ආරම්භකොට ඇත්තේ ලැබූ අවස්ථාව ඵලදායී මඟකට හරවාගනු පිණිසය. ඒ සම්බන්ධ තීරණාත්මක මැදිහත්වීම සිදුවිය යුත්තේ රජයේ පාර්ශ්වයෙනි. නමුත් රජයේ ප්‍රවේශය තුළ සමාගම්වල ඒකාධිකාරය බිඳ දැමීම, ගොවීන්ගේ බීජ අයිතිය සුරක්ෂීතකර දීම, අධිකතර අතරමැදි සූරාකෑම අවසන් කිරීම, අධි-පරිභෝජනවාදය වෙනුවට විකල්ප පරිභෝජන ශෛලීන් ජනප්‍රිය කරවීම, යටිතල පහසුකම්, දැනුම හා තාක්ෂණය පුළුල් කිරීම, කෘෂි නිෂ්පාදන නාස්තිය අවම කිරීම හා ආහාර පරිරක්ෂණය ව්‍යාප්ත කිරීම යනාදී වශයෙන් වන බහුවිධ මැදිහත්වීම් පෙනෙන්නට නැත. එවන් තත්ත්වයක් තුළ මෙම ප්‍රවේශය අසාර්ථක වුවහොත් මෙරට ආහාර සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පිළිබඳ බලාපොරොත්තු, ගොවීන්ගේ දරිද්‍රතාව පිටුදැකීමේ වියහැකියාවන් මෙන්ම මෙරට පාරිසරික පද්ධතියේ තිරසාර පැවැත්ම පිළිබඳ අපේක්ෂාවන් ද ඒ සමඟ වැනසී යනු ඇත.

විදුර ප්‍රභාත් මුණසිංහ | Vidura Prabath Munasinghe

What Do You Think ?

Leave a Reply