සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනයට සූදානම්

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීම පිළිබඳව අද මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ දී ප්‍රජාව සවිබල ගැන්වීම, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ මෙන්ම වගකීම වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 

සමෘද්ධි බැංකු පද්ධතිය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් විවිධ ගැටළු මතු වී තිබූ ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත, ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකසා ඇති බවත්, ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳහා සමෘද්ධි බැංකු පද්ධතිය නිසි නියාමනයකට ලක් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම ක්‍රමවේදය තුළින් රැකියා සුරක්ෂිතභාවය කෙරෙහි කිසිදු බලපෑමක් හෝ සමෘද්ධිබැංකු පද්ධතියට අගතියක් හෝ සිදු නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්මේන්තුව විසින් පූර්ණ කාලීනව කටයුතු කළ යුතු බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, ආයතනයේ කාර්ය සාධනය මැනීමේ දී ප්‍රජාව බලගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද සඳහන් කළේය.

එමෙන්ම සමෘද්ධි බැංකු පද්ධතිය නියාමනය කිරීමට ගත යුතු පියවරයන්, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පෙන්වා දුන් අතර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකා මහබැංකුව විසින් ලබා දෙනු ලබන බව ද වැඩිදුරටත් පැවසීය. 

ඒ අනුව, මෙම නියාමන ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වූ කමිටුවක් පත් කරන ලදී.

Leave a Reply