Ex එක්ක නැටුවැයි උරණවී Portcity DJ පාටියේ මිනීමැරුමක්

කොළඹ වරාය නගරයේ පැවැති ඩීජේ සංගීත ප්‍රසංගයකට සහභාගි වී සිටි 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී, ඝාතනය කළේ යැයි කියන 17 හැවිරිදි තරුණයෙක් කොළඹ වරාය පොලීසිය විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගන්නට හැකි විය.
සිද්ධියට තවත් සිවු දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන මෙම හතර දෙනා අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑනා කෙනකු ද සිටින  බව වාර්තාවේ.

මෙම තරුණ ව්‍යාපාරිකයාට පහර දෙන ආකාරය සීසීටීවී කැමරාවක රූප රාමු පරීක්ෂා කර බැලීමේදී සොයා ගැනීමට හැකි විණි යැයි ද පොලීසිය සඳහන්  කරයි. මෙසේ ඝාතනය කරනු ලැබ ඇත්තේ, ගල්කිස්ස  වටරප්පල ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අක්‍රම් නමැති තරුණ ව්‍යාපාරිකයෙකි. අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරු ද එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තරුණ ව්‍යාපාරිකයා, ඔහුගේ පෙම්වතිය බව කියන තරුණිය ද සමග මෙම ඩීජේ සංගීතයට සහභාගි වීම සඳහා කොළඹ වරාය නගරයට පැමිණ ඇත.  තරුණ ව්‍යාපාරිකයා මෙම සංගීත ප්‍රසංගයට පැමිණ ඇතැයි කියන්නේ, සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමග බව පොලීසිය පවසයි. තරුණිය සැකකරු සමග කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස්, ඔහුගෙන් සිදුවන බව කියන හිරිහැර හා කරදර නිසා එම සම්බබන්ධතාව නතර කර දමා ඇති බව ද ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තරුණ ව්‍යාපාරිකයා හිටපු පෙම්වතිය සමග පැමිණ  සිටිනු දුටු සැකකරු කෝපයට පත්වී ඇතැයි කියති. ඉන් පසු පහර දීම සිදු වී ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි එම පොලිස් නිලධාරියා කීවේය. සැකකරු සමග පැමිණි බව කියන ඔහුගේ මිතුරන් සිව් දෙනා ද මෙම පහර දීමට හවුල් වී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත. පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි තරුණ ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටියේ යැයි පොලීසිය පවසයි. කොළඹ වරාය නගරයේ පැවැති මෙම ඩීජේ සංගීත ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5,000 සිට 50,000 දක්වා අතර මුදලකට අලෙවි කර ඇතැයි පොලිසියට දැනගැනීමට ලැබී තිබේ.  එම සංගීත ප්‍රසංගයට තරුණ තරුණියන් සැලකිය යුතු පිරිසක් සහභාගි වී සිට ඇතැයි ද පැවැසේ. කොළඹ වරාය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණෙ පවත්වයි.

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply