සජිත්ගේ ජන රැල්ලට ආණ්ඩුව බයේ – සජිත්ගේ ඇමැති කාලේ වැඩ හොයන්න ආණ්ඩුවේ සැලසුමක්!

විනිවිදභාවයකින් යුතුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් භාවිතය සිදුකර තිබියදී නැවතත් එහි කටයුතු සොයන්න කමිටු පත් කිරීම හුදෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි ඇතිව ඇති ජනප්‍රසාදයට බියෙන් ආණ්ඩුව සිදුකරන පළිගැනීමේ ක්‍රියාවකැයි සමගි ජන බලවේගයේ බෞද්ධ කටයුතු ප්‍රධානි ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවැසුවා.

“මීට පෙරත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සොයන්න කමිටු පත් කළා. අල්ලස් හෝ දූෂණ කොමිසම වෙතත් ඇතැමුන් ගියා. ඒත් ඒ සියල්ලහිදීම එවක ඇමැතිවරයකු ලෙස ප්‍රේමදාස මහතා සද්භාවයකින් බෞද්ධ හා සෙසු ආගමික පුනරුදය තකා තම භාවිතාව ඉතාම විනිවිදභාවයකින් යුතුව කර ඇති බව තහවුරු වුණා.”

පූජනීය ස්ථානවල සංවර්ධනයට මුදලක් භාවිත කර ඇත්නම් එතුමා ඒ සියල්ල ප්‍රාදේශීය ලේකම්වරු හා ආගමික නායකයන්ද දැනුවත්භාවය ඔස්සේ ක්‍රමවත්ව සිදුකර තිබෙනවා. ඒවා ඉදිරියේදී තහවුරු වේවි. සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් සොරකම් නොකළ, දූෂණ සිදුකර නැති නායකයෙක්. අද ජන රැල්ලට බියවී සිටින ‘පොහොට්ටුව’ මේ සියල්ල යට සිට මෙහෙයවනවා. ඡන්දය කල් දැමීමටත් ඔවුන් දඟලනවා.

බඩු මිල ටිකක් අඩුකර ‘ඇස්බැන්දුමක්’ තාවකාලිකව පෙන්වා ජනතාව රැවටීමට ආණ්ඩුවත් එහි නායකත්වයත් දැඩි උත්සාහයක යෙදී සිටිනවා. විපක්ෂ නායකවරයාට මඩ ප්‍රහාර, අස්ථාන චෝදනා එල්ල කිරීමත් එහි තවත් දිගුවක් පමණකැයි ද මේ රටේ ආගමික පුනරුදයට කැපවූ නායකයකුට බොරු චෝදනා එල්ල කරන විට ආගමික ස්ථානවලින් නිසි උත්තරයක් ආණ්ඩුවට හෙට අනිද්දා වන විට ලැබේවි යැයිද හෙතෙම සඳහන් කළා.



Leave a Reply