පාර්ලිමේන්තුව ඇතුළේ මැතිවරණ පනත හදිසියේ සම්මත කරගැනීමට ආණ්ඩුව සියලු උත්සාහයන් දරන අතරවාරයේ ජනාධිපතිවරයා මෙම පනතට පොහොට්ටුවේ සම්පූර්ණ සහාය ලබාගැනීමටද විශේෂ වැඩපිළිවෙළක් දියත් කොට තිබිණි. ඒ, පොහොට්ටුවේ ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂ මහතා සමග අතිශය රහසිගත සාකච්ඡා වටයක් පැවැත්වීම හරහාය. මෙම රහස් සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් සාගල රත්නයක සහ වජිර අබේවර්ධන සහභාගි වී සිටි අතර බැසිල් පිල නියෝජනය කරමින් සාගර කාරියවසම් සාකච්ඡාවට එක්ව සිටියේය. මෙහිදී සාකච්ඡාව ආරම්භයේ සිටම බැසිල් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය. ජනාධිපතිවරයා තනතුරට පත්කරගැනීමෙන් පසු ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා පොහොට්ටුව පැත්තෙන් ඉදිරිපත් කළ යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවීමත්, අඩුම තරමේ කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා හෝ ක්‍රියාත්මක නොවීමත් බැසිල්ගේ දැඩි විවේචනයට හේතුවී තිබිණි. මෙහිදී බැසිල් කෙතරම් තදින් අදහස් දැක්වූවද කියනවා නම් ඒ අවස්ථාවේදී බැසිල්ගේ කටින් මෙවැනි ප්‍රකාශක් පිටවුණු ආකාරයක් දැකගත හැකි විය.
බැසිල්ට ඡන්ද තිබ්බත් එකයි නැතත් එකයි!
පොහොට්ටුවෙන් 7යි ජනාධිපතිගෙන් 5යි!
කියපු දින පහුවෙයි! පණිවුඩ දෙපැත්තටම යයි!
පනත නිසා ඇමැතිකම් දෙන්න වෙයි!
ඒ අනුව නැවත වතාවක් බැසිල්ගේ පාර්ශ්වයෙන් රනිල් පිලට පණිවුඩයක් ලැබිණි. ඒ වන විටත් මැතිවරණය කල් දමා ගැනීම සඳහා ගැසූ සියලු තුරුම්පු ආපසු කැරකී ගොස් ආණ්ඩුවට ඉතිරිව තිබුණේ පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ වියදම් නියාමන පනත හරහා කෙසේ හෝ මැතිවරණය කල් දමාගැනීමට මඟ පාදාගැනීම පමණි. ඒ සඳහා පොහොට්ටුවේ සහාය අත්‍යාවශ්‍යය. පොහොට්ටුවේ සහාය පනත සම්මත කරගැනීමට නම් කෙසේ හෝ පොහොට්ටුවේ ඉල්ලීම් සපුරාලිය යුතු බවද රහසක් නොවේ. ඒ අනුව අවසානයේදී නැවත වතාවක් රනිල්ගේ පාර්ශ්වයෙන් බැසිල් පිලට එවනු ලැබූ පණිවුඩයකින් කියැවුණේ පොහොට්ටුවේ ඉල්ලීම් ඉටුකිරීමට ආණ්ඩුව සූදානම් බවය. මෙම පණිවුඩය පොහොට්ටුවට ලබාදීම සඳහා අගමැතිවරයාද මැදිහත් වී තිබිණ.
එකපාර 10ම දෙන්න බෑ මිනිස්සු කලබල වෙයි! මුලින්ම 2ක් දෙයි!
ඒ අනුව ජනාධිපතිවරයාගේ පැත්තෙන් යෝජනා වී තිබුණේ එකවර පොහොට්ටුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුනහොත් එය රට ඇතුළේ දැඩි විරෝධයක් මතුවීමට තුඩුදිය හැකි කාරණාවක් විය හැකි බැවින් කඩින් කඩ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදීමට සූදානම් යැයි කියාය. ඒ අනුව සංකේතාත්මකව එම වචනය සනාථ කිරීමට පළමු අදියරේදී පොහොට්ටුව පැත්තෙන් පවිත්‍රාටත්, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ජීවන් තොණ්ඩමාන්ටත් කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට තීන්දු විය. ඊට පොහොට්ටුවේද අනුමැතිය හිමි විය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී පෙරවරු 11.30ට පවිත්‍රාත්, ජීවනුත් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේ එම එකඟතාවට අනුවය.