ගුරුවරයෙකු අවසරයකින් තොරව සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවකට කැඳවාගෙන යෑම ගැන පරීක්ෂණ

education-trip-eppawala

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් පාසල පැවැත්වෙන දින දෙකක අවසරයකින් තොරව ගුරුභවතෙකු විසින් විනෝද චාරිකාවක් කැඳවාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 5E පත්ති භාර ගුරුවරයා විසින් පාසල් පරිපාලනයටද නොදන්වා එම පන්තියේ සිසු සිසුවියන් පිරිසක් බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළුව නුවරඑළිය ප්‍රදේශයේ දිත දෙකක විනෝද චාරිකාවක් රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පිරිස නුවර ප්‍රදේශය අධ්‍යාපන චාරිකාවකට සහභාගි කරවීමට පාසල මගින් සැලසුම් කරමින් තිබියදී අදාළ ගුරුවරයා තම පන්තියේ සිසු සිසුවියන් පිරිසක් පමණක් මෙලෙස හදිසියේම පාසල අවසරයකින් තොරව පාසල පැවැත්වුණ පෙරේදා (16දා) හා ඊයේ (17දා) විනෝද චාරිකාවක් කැඳවාගෙන ගොස් ඇති බවට හෙළි වී තිබේ.සාමූහිකව සියලු දරුවන් ගැන නොසිතා අදාළ පත්ති භාර ගුරුවරයා තම පන්තියේ සිසුන් ගැන පමණක් සිතා හැසිරීම ගුරුවරයකුට උචිත නොමැති බවද බවද අනෙකුත් දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති. මේ හේතුවෙන් අනෙක් සිසු දරුවන්ද දැඩි කනස්සල්ලෙන් පසුවන බව ඔවුහු පවසති.

අදාළ ගුරුවරයා විසින් මෙම විනෝද චාරිකාව සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරිය හෝ දැනුවත් කර නොමැති බවත් හෙතෙම අසනීප නිවාඩු දමා විනෝද චාරිකාවට සහභාගි වී ඇති බවද පාසල් ආරංචි මාර්ග පවසයි.එම පන්තියේ සිසු සිසුවියන් සියලු දෙනාම දින දෙකක් පාසල් නොපැමිණීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම විනෝද චාරිකාව පිළිබඳ අනාවරණය වූ බවද පාසල් ආරංචි මාර්ග පවසයි.මේ අතර අදාළ ගුරුවරයා විසින් එම විනෝද චාරිකාව සහභාගි නොවන සිසුන්ටද එම දින දෙක තුළ පාසල් නොඑන ලෙසට දැනුම් දී ඇති බවටද වාර්තා වේ.

එම විද්‍යාලයේ විදුහල්පතිතී ඒ.ආර්. කණ්ඩක්කුලම මහත්මියගෙන් මේ පිළිබඳ සිදු කළ විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ මාධ්‍යයට තොරතුරු ලබාදිය නොහැකි බවයි. අනතුරුව මේ සම්බන්ධයෙන් තඹුත්තේගම කලාප අධ්‍යාප්ත අධ්‍යක්ෂ ජේ.එම්.කේ.ආර්. බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම මෙසේ පැවසීය.

 ” සාමාන්‍යයෙන් චාරිකාවක් යනවා නම් සහභාගි වන සිසු සිසුවියන්ගේ නාමලේඛනයක් හා එකතු කරන මුදල් ප්‍රමාණය බස්වල විස්තර එක්ක ලිඛිත අවසරයක් මගෙත් ගන්න ඕන. මේ චාරිකාවට එහෙම අවසරයක් අරගෙන නැහැ. මේ ගැන මම සොයා බලන්නම්.”

අනතුරුව නැවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන් නැවත දුරකථන ඇමතුමක් ලබා ගනිමින් මෙසේ පැවසීය.

“ස්තුතියි, මේ තොරතුරු දුන්නට. මං මේ ගැන හොයා බැලුවා. අදාළ ගුරුවරයා නිවාඩුවක් දාලා ගිහින් තියෙනවා. මේ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කරන්න කියලා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමා දැනුවත් කරලා තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් සිදු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply