

නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් ඉකුත් 09වැනිදා රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටියදී එම ස්ථානය වැටලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කටයුතු කර ඇත.
එම අවස්ථාවේ දී එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව, විදේශ රැකියා සඳහා අයදුම්පත් කැඳවීම හා ප්‍රචාරය කිරීම නොකළ යුතුවේ.
අදාළ රැකියා නියෝජිතායතනය නීත්‍යානුකූල ආයතනයක් වන නමුත් නෙදර්ලන්තයේ රැකියා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර, රැකියා ලබාදීම සඳහා රුපියල් 5000 බැගින් අතිකාරම් මුදල්ද අයකර තිබේ.
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් එම ස්ථානය වැටලීම් කරන ලදී. එම අවස්ථාව වන විට තුන්සීයකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා අදාල ස්ථානයට පැමිණ තිබුණු අතර, මෙය නීතිවිරෝධි අයුරින් සිදුකරන කටයුත්තක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් විසින් අදාල රැකියා නියෝජිතායතනයේ හිමිකරුවන්ට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය. එම තත්වය පාලනය කිරීම සඳහා රාජගිරිය පොලිසියේ නිළධාරීන් කැඳවීමටද සිදුවිය.
නිතිවිරෝධි අයුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 200ක්, රු.403,080ක මුදලක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ(10) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකරුවන් තම වරද පිළිගත් අතර, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැඩිදුර නඩු විභාගය 2023 ජනවාරි මස 25වැනිදා කැඳවීමට නියමිතය.
නඩු විභාගය අවසන් වනතුරු මෙම ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමටද මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටී.