මාල දිවයිනේ හිටපු ජනපති යමීන්ට වසර 11 ක සිරදඬුවමක් සහ ඩොලර් මිලියන 5 ක දඩයක්

maldives-court-finds-former-president-yameen-guilty-corruption

මාල දිවයිනේ අපරාධ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබේ.
වාවු අතොල් ආරා නමැති අයගේ බදු ගනුදෙනුව හරහා අල්ලස් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද නිසා මෙම දඩුවම් නියම විය. දැනට විපක්ෂ නායක ලෙස කටයුතු කරන යමීන් 2023 ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අභිලාෂයෙන් සිටි අතර මෙම තීන්දුව නිසා එම අවස්ථාවද අහිමි වනු ඇත.

චෝදනා එල්ල කළ පැමිණිල්ල වසර 19 ක සිර දඬුවමක් ඉල්ලා තිබුණි; එයින් වසර අටක් අල්ලස් චෝදනා සඳහා වූ අතර වසර 11 ක් මුදල් විශුද්ධිකරණය සඳහා විය. ප්‍රධාන විනිසුරු අහමඩ් ෂකීල් ඔහුට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වසර හතරක් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වසර හතක සිර දඬුවමක් නියම කළේය.
ඩොලර් මිලියන 5 ක දඩයක්ද නියම කලේය.

විනිසුරු ශකීල් පැවසුවේ අල්ලස් වරදට මූලික දඬුවම වසර තුනයි මාස දෙකක සිරදඬුවමක් වුවද, යමීන් මාලදිවයිනේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනිසුන්ට පාඩු ලැබූ බැවින් එම වරද වඩාත් දැඩි කළ යුතු බවයි.
මෙම වරදට සම්බන්ධ බවට හෙළිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූසුෆ් නයීම්ට වසර තුනකුත් මාස දෙකකුත් දින 12ක සිර දඬුවමක්ද මේ සමගම නියම විය. ඔහුගේ අපරාධ වාර්තාව, සෞඛ්‍ය සහ ජීවන තත්වයන් මත පදනම්ව දඬුවම ලිහිල් කරන ලෙස ඔහු ඉල්ලා සිටියත්, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු සමඟ එක්ව සැලසුම් සහගත අපරාධයක් සිදු කර ඇති බැවින් යූසුෆ් නයීම්ගේ දඬුවම අඩු කළ නොහැකි බව ප්‍රධාන විනිසුරුවරයා තීරණය කළේය.

තීන්දුවෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් හිටපු උප ජනාධිපති ආචාර්ය මොහොමඩ් ජමීල් අහමඩ් ප්‍රමුඛ යමීන්ගේ නීති කණ්ඩායම ප්‍රකාශ කළේ තමන් අපරාධ අධිකරණයේ දඬුවමට ප්‍රමාදයකින් තොරව අභියාචනා කරන බවත් අභියාචනාධිකරණය සාධාරණ තීන්දුවක් දෙන බවට විශ්වාසයක් ඇති බවත්ය.

මීට පෙර 2019 වසරේදීද , මේ ආකාරයේම බදු නඩුවක් යමීන්ට එරෙහිව එරට අපරාධ අධිකරණයේ විභාගවී වසර පහක සිර දඬුවමක් නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ එම දඬුවම අවලංගු කර ඔහු නිදහස් කර තිබුණි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply