බංකොලොත්ව සිටි දිනේෂ් ෂාස්ටර් දිවි නසාගත් බවට සැකයක්

dinesh-shasterkilled-jana-shakthi-president

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ ප්‍රධානී දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධ පවත්වන පරීක්ෂණ අනුව ලැබී ඇති තොරතුරු මේ වනවිට වෙනත් දිශාවකට හැරෙමින් පවතී. මෙම ව්‍යාපාරිකයා ගතවූ කාලයේ ව්‍යාපාර වලින් කෝටි 2000 කට අධික මුදල් පාඩු ලබා බංකොලොත්ව සිටි බවටත් කරුණු වාර්තා වන අතර වාසය කරමින් සිටි නිවසද විකුණන්නට දමා සිද්ධිය වූ දිනයේ රාත්‍රියේ ඔහු සිය බිරිය සමග එංගලන්තය බලා පිටත්ව යාමට සූදානමින් සිටියදී පැය කිහිපයකට පෙර මරණය සිද්ධවී ඇති බවත් මේ වනවිට කරුණු හෙළිව ඇත.

මේ අතර දිනේෂ් ෂාස්ටර් සිය නැන්දම්මාට ලියන ලද ලියුමක් හමුව ඇති අතර දිවිනසාගැනීමේ අදහසක් තිබූ බවට මෙම ලිපිය ඔස්සේ කරුණු මතුවන බව පරීක්ෂණ පවත්වන නිලධාරීන් සඳහන් කර ඇත. නිලධාරීන් පවසන්නේ
” මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි” යන වැකියද දක්වමින් නැන්දම්මාට සිය බිරිය සම්බන්ධ පැසසුම් වාක්‍යයක්ද එම ලිපියේ තිබූ බවයි.

ඔහු ව්‍යාපාර ගැටලු වලින් මිරිකී සිටි බවට තොරතුරු රැසක්ද සමීපතමයින්ගේ ප්‍රකාශ වලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇත.නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධවී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 පමණ ඔහුට පාඩු සිදුවී තිබී ඇත.
 ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබී ඇති අතර ඔහු බ්‍රිතාන්‍යෙය් පදිංචිය සඳහා ලංකාව අතහැර යාමට පැය කිහිපයකට පෙර මරණය වාර්තා විය.

කොළඹ හත මල්පාරේ පිහිටි නිවස රජයේ රස පරීක්ෂක දෙපාර්තුමෙින්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (24) පරීක්ෂාවට ලක්කර ඇති අතර දිනේෂ් ෂාෆ්ටර් ගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර් ගෙන් නැවත වරක් (තුන්වනවරට) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ගේ අභිරහස් මරණය සියදිවි නසාගැනීමක් දැයි යන්න පිළිබඳ මේ වන විට සැකසහිත කරුණු පරීක්ෂා කරමින් සිටී.
මුලින් වාර්තාවූයේ ඔහුගේ වාහනයේ සිට පුද්ගලයෙකු ඉවතට ගමන් කළ බවට තොරතුරු හමුවූ බවට වන නමුත් පසුව සිදු කළ සීසීටීවී විමර්ශන වලින් ෂාස්ටර් මහතා වාහනයේ තනිව ගමන් කළබවට තොරතුරු සඳහන් කර තිබුණි. මරණය සිදුවන අවස්ථාව වෙද්දී කොළඹ කනත්තේ ‘අනාථ‘ පැත්ත නමින් හඳුන්වන පැති තුනකින් ආවරණය වන පාළු ස්ථානයේ වාහනය නවතා තිබුණ අතර දෙඅත් පටියකින්ද ගෙල වයරයකින්ද ගැටගසා තිබුණි. මේ ආකාර දෙයක් ඔහු තනිව කරගත්තේද වෙනත් අයෙකු මැදිහත්වූයේද යන සැකය දැන් නැවත පැනනැගී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 70 කට වැඩි පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply