ලෝක පාපන්දු කුසලානය ආර්ජන්ටිනාවට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තුන්වැනි වතාවටත් ආර්ජන්ටිනාව සමත් විය.

ඒ ප්‍රංශය සමග පැවති ඊයේ පැවැති FIFA 2022 අවසන් මහා තරඟයේදීය.

ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර අවසන් තරගය පැවැත්වුණේ ලුසෙයිල් ක්‍රීඩාංගණයේදීය. 90,000 පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම තරගය නැරඹීමට පැමිණ සිටියේය.

ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසී සහභාගී වන අවසන් ලෝක කුසලාන තරගාවලියද මෙයයි. පසුගියවර ෆිෆා ලෝක කුසලානයේ ජයග්‍රාහකයින් වූ ප්‍රංශය මෙම තරගයට පිවිසියේ අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලානය ජය ගැනීමේ අරමුණින්ය.

කෙසේ වෙතත් ආර්ජන්ටිනාව ආරම්භයේ සිටම තරගයේ වැඩි වාසි හිමි කර ගැනීමට සමත් විය.

ඔවුන් තරගයේ 23 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් පළමු ගෝලය ලබා ගත්තේය.

එම ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක ලියොනෙල් මෙසීය. අනතුරුව 36 වැනි මිනිත්තුවේදී ඇන්ජෙල් ඩි මාරියා ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුනේ ගෝල 2-0 ලෙස ආර්ජන්ටිනාව පෙරමුණ ගනිමින්ය.

තරගයේ 80 වැනි මිනිත්තුවේදී ප්‍රංශය වෙනුවෙන් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ගෝලයක් වාර්තා කිරීමට කිලියන් එම්බාප්පේ සමත් විය.

ඉන් මිනිත්තුවකට පසු යළිත් ක්‍රියාත්මක වූ කිලියන් එම්බාප්පේ ප්‍රංශය වෙනුවෙන් දෙවැනි ගෝලයද වාර්තා කළේ තරගයේ ගෝල මට්ටම සම කරමින්ය.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 2-2 ලෙසය. අනතුරුව තරගයට අතිරේක කාලයක් ලබා දුන්නේය.

එහිදී සාර්ථක වූ ලියොනෙල් මෙසී තරගයේ 108 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් තෙවැනි ගෝලය ලබා ගත්තේය.

තරගයේ 118 වැනි මිනිත්තුවේදී ප්‍රංශයට දඩුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට කිලියන් එම්බාප්පේ සමත් විය. එම්බාප්පේ මෙම තරගයේදී වාර්තා කළ තුන්වැනි ගෝලය මෙයයි. ඒ අනුව ගෝල තත්වය යළිත් සම වුණි.

තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 3-3ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ සිටියදීය. 

තරගයේ ජය පරාජය තීරණය කිරීමට දඩුවම් පහර ලබා දුන්නේය. ප්‍රංශය වෙනුවෙන් පළමු දඩුවම් පහර සාර්ථක කර ගත්තේ කිලියන් එම්බාප්පේ ය.

ලියොනෙල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් පළමු දඩුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය.

ප්‍රංශය දෙවැනි සහ තෙවැනි දඩුවම් පහර සාර්ථක කර ගත්තේ නැහැ. නමුත් ආර්ජන්ටිනාව දඩුවම් පහර 4 ක් සාර්ථක කර ගනු ලැබීය.

ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තේ ආර්ජන්ටිනාවයි.

ඔවුන් ලෝක පාපන්දු කිරුළ දිනූ තෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් අවසන් වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ශූරතාව දිනා තිබුණේ 1986 වසරේදීය. ඒ අනුව ආර්ජන්ටිනාව ලෝක පාපන්දු කිරුළ මෙවර ජයග්‍රහණය කලේ වසර 36 කට පසුවය.

Leave a Reply