මේසය උඩ වැටුණු ඉඳුල් බත් ඇට සිසුන්ට දිවෙන් ඇහිඳින්න කියූ මාතර විදුහල්පතිනිය  

matara-principal-incident

ආහාර ගැනීමෙන් පසු, මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට, දිවෙන් ඇහින්දවා සිසුන්ට අමුතු දඬුවමක් දුන් බව කියන මාතර ගොඩඋඩ මහ විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. මීට දින කිහිපයකට පෙර මෙම දඬුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ‛ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
පාසල් විවේක කාලයේ දී සිසුන් ආහාර ගෙන ඉතිරි වූ ඉඳුල් ඉවත් නොකර මේසය මත තිබෙනු විදුහල්පතිනිය පන්ති කාමර නිරීක්ෂණයේ දී දැක ඇත.ඒ අනුව එම මේසයේ සිට ආහාර ගත් සිසුන් පිරිස කැඳවා ඇති විදුහල්පතිනිය මේසය පිරිසුදු නොකිරීමේ වරදට දිවෙන් බත් ඇට ඉවත් කරන ලෙස ඔවුන්ට දන්වා ඇති බව කියති.

විදුහල්පතිනියගේ අණට කීකරු වෙමින් සිසුන් පිරිස බත් ඇට දිවෙන් ඉවත් කිරීමට පටන්ගෙන ඇති අතර පාසලේ සේවය කරන අයකු එම සිද්ධිය තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කර මාධ්‍යවලට නිකුත් කර ඇත.

පසුව එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පරීක්ෂණය අවසන් වන තෙක්, විදුහල්පතිනිය මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව මාරු කළ බවද එම පරීක්ෂණ වාර්තාව අනුව ඉදිරි විනය ක්‍රියා මාර්ග තීරණය කරන බවද දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා කීවේය. ශිෂ්ටසම්පන්න සමාජයකට එවැනි දඬුවම් ක්‍රම නොගැළපෙන බව ද ඔහු සඳහන් කළේය.
ක්‍රිෂාන් ජීවක ජයරුක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply