රනිල්ගේ බණ අසා මුළු පාර්ලිමේන්තුවම එකවර නිවන් යාමේ තත්වයක්!

‘වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල අපිට බුදුබණ කියමින් ඉන්නේ. එක වෙලාවකට හිතෙනවා, ‘පාර්ලිමේන්තුවේ 225ම එකපාරට නිවන් යන්නත් ඉඩ තියෙනවා නේද?’ කියලා. රනිල් මහත්තයා ධර්මය වැඩිපුර කතා කරනවා කියන්නේ හොඳකට වෙන්න බැහැ. ‘පට්ට අධාර්මික ප්ලෑන් එකක්’ අනිවාර්යෙන් ඒක පිටිපස්සේ තියෙන්න ඕනෑ. ‘බුදු සරණයි’ කියලා බෝඩ් එක ගහගෙන මරන්න නියමිත හරක් ටික ලොරියේ පිටිපස්සේ ගෙනියන උදවියත් මේ රටේ ඉන්නවා. අපි දන්නා වික්‍රමසිංහ මහත්තයාට අනුව එයාගේ ‘බුදු සසුන බැබලේවා’ කියන එකේ පිටිපස්සේ එහෙම ප්ලෑන් එකක් තමයි තියෙන්න ඕන’ යයි උත්තර ලංකා සභාගය සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ගාල්ල, දංගෙදර සමෝදා උත්සව ශාලාවේදී පැවති උත්තර ලංකා සභාගයේ ‘ගාල්ල සම්ප්‍රාප්තිය’ ජනතා සමුළුව අමතමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ හිටපු අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

‘1977ට පෙර ආර්ථික මොඩලය’

“අපි කාටත් ප්‍රබලව අපේ ජීවිතවලට දැනෙන, අපේ ජීවිතවල තිබුණු ස්වභාවය වෙනස් කරන්න බල කෙරෙන තීරණාත්මක ආර්ථික අර්බුදයකටයි අද මේ රට ගොදුරු වෙලා තියෙන්නේ. 1977ට කලින් අපේ රටේ තිබුණේ අද තියෙන මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය නොවෙයි; වෙළඳපොළ බලවේගයන්ට සියල්ල තීරණය කරන්න ඉඩ දීපු ආර්ථික මොඩලයක් නොවෙයි. 1977ට කලින් තිබුණේ රජයේ භූමිකාව වඩා ප්‍රබල, දේශීය වෙළෙඳපොළ, දේශීය නිෂ්පාදකයා බලගන්වන මේ රටේ සමාජ සුබසාධනයට මුල්තැන දීපු, ඒ වගේම විදේශ විනිමය ආදායම් හොඳ තත්වයෙන් පවත්වාගෙන ගිය ආර්ථික මොඩලයක්.

නිදහස් වෙළඳපොළ ක්‍රමයට මාරු වෙන හැටි

අපට එදා වෙළඳ පරතරය කියලා එකක් තිබුණේ නැහැ. අපි පිටරටවලින් ගෙනල්ලා පරිභෝජනය කරන්න වියදම් කරපු මුදලට වඩා වැඩියි අපේ නිෂ්පාදන පිටරට යවලා, ඒකෙන් හොයපු විදේශ විනිමය ආදායම. ඒ නිසා අපිට යම් අවස්ථාවක තෙල් ටික නැති වෙයි කියලා බයක් තිබුණේ නැහැ. මහා විශාල තෙල් පෝලිම් හැදෙයි කියලා බයක් තිබුණේ නැහැ. නමුත් සමහර දුෂ්කරතා තිබුණා. ඒ දුෂ්කරතා මැදින් රටක් ශක්තිමත් නිෂ්පාදන පදනමකට අරගෙන යන ගමනක් ආරම්භ වෙලා තිබුණා. සාමාන්‍යයෙන් ඕනෑම රටක් නිදහස් වෙළඳපොළ ක්‍රමයට, මොඩලයට මාරු වෙන්න කලින් බලනවා, ‘අපේ රටේ නිෂ්පාදන පද්ධතිය තරඟ කරන්න පුළුවන් සවිමත් තත්වයක තියෙනවාද? තරඟකාරීව ඉදිරියට යන්න පුළුවන් පරිණත මුහුකුරා ගිය තත්වෙකට ඇවිල්ලාද?’ කියලා. අන්න ඒ අනුව තමයි ඕනෑම රටක් තීරණය කරන්නේ, ‘දැන් අපි සංවෘත ආර්ථික මොඩලයෙන් යන්න පුළුවන් දුර ඇවිල්ලා ඉවරයි. දැන් අපි විවෘත ආර්ථික මොඩලයට මාරු විය යුතුයි’ කියලා. දැන් චීනයේ තියෙන්නේ වෙළඳපොළ සමාජවාදය. ලංකාවේ තියෙන්නේ වෙළඳපොළ ධනවාදය. ඒ ‘වෙළඳපොළ’ මොඩලයට මාරු වෙන්න ඕනේ තමන්ගේ නිෂ්පාදන පද්ධතිය හොඳින් මුහුකුරා ගිය තත්වෙකට ආවාම. ලෝකයේ දියුණු වූ රටවල් ඒ වෙළඳපොළ උපායමාර්ගයට මාරු වුණේ එහෙම.

‘වැරදි ගමනේ ප්‍රතිඵලය’

මෙතැන 1977දී ජයවර්ධන ජනාධිපතිවරයා ඒ මොනවත් සලකා බලන්නේ නැතුව දේශීය කර්මාන්ත පද්ධතිය අධෛර්යයට පත්වෙන ආකාරයට, බිඳවැටෙන ආකාරයට නිදහස් වෙළඳපොළ ක්‍රමයට මාරු වුණා. නිදසුන් ලෙස, පූගොඩ තිබුණු රෙදි කම්හල විකුණා දමන ආකාරයට කටයුතු කළා. එදා බියගම තිබුණු පොහොර නිෂ්පාදනාගාරයේ රටට ඕන කරන යූරියා පොහොර නිෂ්පාදනය කළා. අතිරේකය පකිස්ථානයටත් වික්කා. ඒ සියල්ල යකඩවලට විකුණලා විනාශ කරලා දැම්මා. අන්න ඒ වැරදි ගමනේ ප්‍රතිඵලයට තමයි අද රටක් හා ජාතියක් හැටියට අපි මේ මුහුණ දෙන්නේ. ඩොලර් හිඟයකට, විදේශ විනිමය හිඟයකට මුහුණ දෙන්න වුණේ ඒ හන්දා. ආසන්න වශයෙන් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය බලපාන්න ඇති. එමගින් සිදු වූ ඩොලර් ආදායම හීනවීම බලපාන්න ඇති. නමුත් ඒවා කවර විදිහට ආවත් කවර වෙලාවක හරි මේ අර්බුදය අපට මුණගැහෙන්න නියමිතයි.
ඇයි ඒ? ඩොලර් බිලියනයක් වෙළඳ පරතරය තියෙනවා. සෘණ අගයක්. ඒ ඩොලර් බිලියනය කොහෙන් හරි ණයට අරන් තමයි අපි ජීවිතේ සැපට ගෙවන්නේ; අපේ ජීවන විලාශය පවත්වාගෙන යන්න ඕනෑ කරන විදේශ නිෂ්පාදන මේ රටට ගෙනාවේ.

ආනයනික භාණ්ඩ පරිභෝජනය වැඩි වීම

මතක ඇති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කිව්වා, ‘මම ආවාම පාන් තුනයි පනහට දෙනවා’ කියලා. එතුමිය අවුරුදු දෙකක් පමණ තුනයි පනහට පාන් දුන්නා. හැබැයි අපි බේකරියෙන් ගන්න පාන් එක, තුනයි පනහ වුණාට ලෝක වෙළඳපොළේ, තිරිඟු පිටිවල තිබුණු ඇත්ත මිල ප්‍රීමා සමාගමට ගෙව්වා රජයෙන්. තුනයි පනහට පාන් ගෙඩිය දෙන්න තරම් අඩු මිලකට තිරිඟු පිටි විකුණන්න බැරි නම් ප්‍රීමා සමාගමට, ඒ බැරි ඉතිරි පාඩුව දුන්නා රජයෙන්. රජය දෙන්නෙත් චන්ද්‍රිකා නෝනාගේ සල්ලි නොවෙයි, මහජනයාගේ බදු ආදායම. අන්තිමට බැලින්නම් අපි තූනයි පනහට පාන් කෑවාට ඇත්ත අගය වක්‍රාකාරයෙන් ගෙවලා ප්‍රීමා සමාගමට. ඒකෙන් වෙන්නේ පාන්පිටි පරිභෝජනය වැඩි වීම.

පාන්පිටි පරිභෝජනය වැඩි වෙනකොට ඩොලර් එකට තියෙන පීඩනය වැඩි වෙනවා. ආනයනික කිරිපිටි පරිභෝජනය වැඩි වෙනකොට ඩොලර් එකට තියෙන පීඩනය වැඩි වෙනවා. නමුත් මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා හතරගාතෙන් වට්ටන තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ වෙලාවෙවත් බලන්නේ නැහැ, ‘දේශීය කර්මාන්තකරුවාව ආරක්ෂා කරගන්නේ කොහොමද?’ කියලා. ඒ නිසා ඉතා පැහැදිලියි, ඒ වැරදි ආර්ථික මොඩලය කරගහගෙන ඒමේ ප්‍රතිවිපාකයට තමයි අද අපි මේ මුහුණ දීලා ඉන්නේ.

‘ආර්ථික මර්මස්ථාන සියල්ල විකිණීම’

මෙතැනින් එහාටවත් ඒ මොඩලයෙන් එළියට එන්න, ඒ වැරදි උපායමාර්ගයෙන් එළියට එන්න අපට පුළුවන් වෙන්න ඕනේ. මේසා ප්‍රපාතයකට ඇද වැටුණාට පස්සෙවත් මොළයට හොඳක් වෙන්නේ නැත්නම් ඒක ඉතා බරපතල අවාසනාවක්. දැන් මේ මොකක්ද කරන්නේ? මේ අර්බුදයම පාවිච්චි කරනවා, සාමාන්‍ය කාලයකදී කරන්න බැරි වුණු ආර්ථික අපරාධ ටික කරන්න; මූලෝපායික වශයෙන් වැදගත් ආර්ථිකයේ තියෙන මර්මස්ථාන සියල්ල විකුණලා දාන්න.
එමගින් වෙන්නේ දීර්ඝකාලීන අර්බුදකාරී සමයකට අපේ මුළුමහත් ජන සමාජය ගොදුරු වීම.

රටට අයිති විදේශ විනිමයට මොකද වෙන්නේ?

ආජන්ටිනාවේ මේ විදිහේ ආර්ථික අර්බුදයක් ආවේ 1988. එදා සිට අද දක්වා පස් වතාවක් ආජන්ටිනාව ‘ණය ගෙවාගත නොහැකි රටක්’ බවට වුණා. ඔවුන් තාමත් ඉන්නේ ඒ ආර්ථික අර්බුදය ඇතුළේ. ආණ්ඩු එනවා, යනවා. දේශපාලන අස්ථාවරභාවය තුරන් වෙන්නෙත් නැහැ. ආර්ථික ස්ථාවරභාවය ඇති වෙන්නෙත් නැහැ. ආජන්ටිනාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සරණ තමයි ගියේ. දැන් මං අහගෙනයි වර්තමාන මහ බැංකු අධිපතිතුමා කියනවා, ‘නියමිත කාලය ඇතුළත අපේ අපනයනකරුවන් විසිහතයි උපයපු ඩොලර් ටික ලංකාවට ගේන්නේ. මම ඒ නිසා ලබන සතිය වෙනකොට ලංකාවට අයිති ඩොලර් ටික ගේන්නේ නැති ඉතිරි සියලුදෙනාගේ නම් ටික ප්‍රසිද්ධ කරනවා.’ කියලා. ඒ කියන්නේ මේ රටට අයිති විදේශ විනිමය කොපමණ ප්‍රමාණයක් රටෙන් එළියෙද තියෙන්නේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර තිබෙන විශාල හොඳම රෝහල ලාංකිකයෙක්ගේ. එයා ඒ රෝහල හදන ධනය උපදවනු ලැබුවේ ලංකාවේ. මේ රටට අයිති විදේශ විනිමය ගෙන්වා ගන්න නීතියක් අද නැහැ. ගෙනාවේ නැතොත් කරන්නේ මොකක්ද කියලා නීතියේ නැහැ. ඒ නීතිය බලගන්වන්නේ නැතුව, එතැනින් පටන් ගන්නේ නැතුව දෙන ආර්ථික උත්තර කිසිවක් වලංගු වෙන්නේ නැහැ.

රවී කරුණානායක මුදල් ඇමති වෙන්න කලින් කාලයේ අපේ තිබුණු විදේශ විනිමය නීතිය අනුව කිසියම් අපනයනකරුවෙක් තමන්ගේ නිෂ්පාදන විදේශ රටක විකුණලා ලබන ඩොලර් ආදායම මාස තුනක් ඇතුළත රටට ගේන්න ඕනේ. නොගෙනාවොත් ඒක අපරාධ වරදක් හැටියට සලකා අධිකරණයට ගෙනයනවා. රවී කරුණානායක මොකද කළේ? මාස තුනක් ද දහයක්ද ඇතුළත ගේන්න, කියලා තියෙන වගන්තිය තිබ්බා. ‘නොගෙනාවොත් කරන්නේ මොකක්ද?’ කියන වගන්තිය ගැලෙව්වා. ඒ නිසා මහ බැංකුවේ අධිපතිට දැන් පුළුවන් ‘මම නම් ප්‍රසිද්ධ කරනවා’ කියන්න විතරයි. ‘වැඩේ දෙනවා’ කියන්න කාටවත් කිසිම බලයක් නැහැ, කියලා දන්න හන්දා, රටට අයිති විදේශ විනිමය ටික ගේන්නේ නැහැ, පිටරටවල ‘පාක්’ කරලා තියා ගන්නවා. අපි බලන් ඉන්නවා, ‘සංචාරක ව්‍යාපාරය ටික ටික උඩට ආවාම මේක ටිකක් හරි යයි’ කියලා ඒකෙන් යම්කිසි දෙයක් වේවි. නමුත් අපේ රටේ සංචාරක කර්මාන්තය කාලයක් තිස්සේ තියෙන්නේ එකම ආකාරයක එක ආකෘතියක. එහි වෙන්න ඕන වෙනස්කම් සිද්ධ වෙලා නැහැ.

‘හොම්බෙන් යන එක අහන්න දෙයක්ද?’

ගාල්ල පමණක් නොවෙයි ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල වගා කරන්න පුළුවන් වගාවක් කුරුඳු. ඒත් වගා කරන්නේ මේ ප්‍රදේශ ටිකක විතරයි. අපට ලෝකයට ඕන තරම් කුරුඳු දෙන්න පුළුවන්, අපේ කුරුඳු ගන්න මුළු ලෝකයම බලාගෙන ඉන්නවා. ඒත් අපි අර නිපදවන ටික රට යවනවා ඇරෙන්න ඒකට වැඩපිළිවෙළක් නැහැ. ඕන තරම් විදේශ විනිමය උපයන්න පුළුවන් භාග්‍යයක් මේ පොළොව සතුව තියෙනවා. මැදපෙරදිගට ඕන කරන ආහාර ටික අපට නිපදවන්න බැරිද? ලංකාවේ ඉඳන්, ලෝකේ රටවල් බර ගාණකට පැය පහකින් යන්න පුළුවන් වීමේ වාසියත් අපට තිබෙනවා. ඒත් දෙයියනේ පිච්ච මල් ගුවන් යානා දෙකක් එනවා හැමදාම කටුනායක ගුවන්තොටුපළට. පිච්ච මලත් එනකොට ඉන්දියාවෙන් ඒකටත් වැයවෙන්නේ විදේශ විනිමය නම්, එහෙම රටක් හොම්බෙන් යන එක අහන්න දෙයක්ද? මේවා නිවැරදි කරන්නේ නැතුව, දේශීය නිෂ්පාදනය බලගන්වන්නේ නැතුව යා හැකි ගමනක් නැහැ.

රටට නිවැරදි නායකත්වයක්!

තමුන්නාන්සේලා දන්නවා, වහලා දාලා, අබලි යකඩවලට විකුණන්න තිබුණු වාලච්චේන කඩදාසි කම්හලේ අපි එක යන්ත්‍රයක් පණ ගැන්වූවා, බොහොම සුළු වියදමක් දරලා. අද ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ගහන්නේ වාලච්චේන කඩදාසියේ. විභාග ප්‍රශ්න පත්තරේට ඕන කරන කඩදාසිය දෙන්නෙත් තව ටික දවසකින් වාලච්චේන කර්මාන්ත ශාලාව. ඒවා එහෙම නැගිට්ටවන්න පුළුවන්. නැගිට්ටවන්න නිවැරදි නායකත්වයක් පමණයි රටට ඕනේ.

‘පට්ට අධාර්මික ප්ලෑන් එකක්’

වික්‍රමසිංහ මහත්තයා මේ දවස්වල අපිට බුදුබණ කියමින් ඉන්නේ. එක වෙලාවකට හිතෙනවා, ‘පාර්ලිමේන්තුවේ 225ම එකපාරට නිවන් යන්නත් ඉඩ තියෙනවා නේද?’ කියලා. රනිල් මහත්තයා ධර්මය වැඩිපුර කතා කරනවා කියන්නේ හොඳකට වෙන්න බැහැ. ‘පට්ට අධාර්මික ප්ලෑන් එකක්’ අනිවාර්යෙන් ඒක පිටිපස්සේ තියෙන්න ඕනෑ. ‘බුදු සරණයි’ කියලා බෝඩ් එක ගහගෙන මරන්න නියමිත හරක් ටික ලොරියේ පිටිපස්සේ ගෙනියන උදවියත් මේ රටේ ඉන්නවා. අපි දන්නා වික්‍රමසිංහ මහත්තයාට අනුව එයාගේ ‘බුදු සසුන බැබලේවා’ කියන එකේ පිටිපස්සේ එහෙම ප්ලෑන් එකක් තමයි තියෙන්න ඕනේ.

රට ඉල්ලන මගපෙන්වීම

මේ රට අද ඉල්ලන්නේ ප්‍රශස්ත නායකත්ව මගපෙන්වීමක්. මේ මහා අර්බුදයෙන් අපිට ගොඩ එන්න බැරි නැහැ. සොබාදහම දෙන්න තියෙන හැම දෙයක්ම දීලා තියෙනවා අපට. තුන්සියහැටපස් දවසෙම ඉර එළිය වැටෙනවා. මේ ඉර එළිය තමයි අපේ සුනිත්‍ය බලශක්තියේ ප්‍රධානතම සාධකේ. අද ලෝකයේ දියුණු වූ ගොඩක් රටවල් ඉන්ධන මගින් විදුලිය නිපදවන්නේ නැහැ. සූර්ය තාපය, සුළං බලය පාවිච්චි කරනවා. අපේ රටේ මොනතරම් ඉඩම් තියෙනවාද හරියට ප්‍රයෝජනයට නොගන්න. ප්‍රයෝජනයට නොගන්න කිසි ඉඩමක් මේ වගේ රටක තියෙන්න හේතුවක් නැහැ. තියෙන්න දෙන්න බැහැ. හැම ඉඩකමකටම සැලැස්මක් තියෙන්න ඕනේ, ‘මොනවාද වගා කරන්නේ? කුමක්ද නිෂ්පාදනය?’ කියලා. ස්වභාවධර්මයා දීපු ටිකයි, අපේ මානව සම්පතයි නිවැරදි සැලැස්මකට අනුව අවුරුදු පහක් හරියට මෙහෙයවනු ලැබුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බිබික්කම’ ලැබුණත් එකයි, නැතත් එකයි, මේ රට නැගිට්ටවන්න පුළුවන්.

‘තකතීරු සිතුවිලි’

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බිබික්කම’ වැටෙනකන් කියන්න බැහැ, ‘වැටෙයිද නැද්ද?’ කියලා. එමගින් ඩොලර් බිලියන 2.9ක් වාර හතරකට දෙනවාලු. ඒ දෙන්නෙත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න අපට පුළුවන්කම ලැබුණොත් පමණයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න ණයහිමියෝ කැමති වෙන්න ඕනේ. අපේ තියෙනවා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ඩොලර් බිලියන දාහතක්. ඒ ඩොලර් බිලියන දාහතේ අයිතිකාර ණය හිමියෝ ඉන්නේ යුරෝපයේ, ඇමරිකාවේ. ඒගොල්ලොන්ව මේකට එකඟ කරගන්නවයි කියන එක ලේසි පහසු වැඩක් නොවෙයි. ඊළඟට ණය ගත්තු රටවල්, ජාත්‍යන්තර ආයතන එකඟ වෙන්න ඕනේ. කවුරුහරි එක්කෙනෙක් හරි ‘බැහැ’ කිව්වොත් වැඩේ බකල් වෙනවා. ඉන්දියාවෙන් හම්බවුණා ඩොලර් බිලියන තුනක් පමණ. මාස දෙකක් තුනක් ‘ඇද්දේ’ ඒකෙන්. ඉතින් ඒ හින්දා ඩොලර් බිලියන් පනස් ගාණක ණය කන්දක් එක්ක ආපු ප්‍රශ්නයක් ඩොලර් බිලියන 2.9කින් විසඳනවා, කියලා හිතන එකම තකතීරුකමක්, මෝඩකමක්. ඒ නිසයි අපට අපේ උත්තර ඕනේ.

මේ වගේ අමාරු වෙලාවල්වල තමයි අපට නිවැරදි වෙන්න බල කෙරෙන්නේ. අපි ආයේ වැරදි උත්තරයම හොයාගෙන බදාගන්න ගියොත් ගොඩඒමක් නැහැ. දැන් වික්‍රමසිංහ මහත්තයා බලන්නේ සියලු දේ විකුණලා හරි ඩොලර් බිලියන තුන හතරක් විදේශ වත්කම් සංචිතයට දාගන්න. එතකොට ජාත්‍යන්තර දර්ශකවලින් අපේ ආර්ථිකය පොඩ්ඩක් උඩට එනවා. උඩට ආවාම ණය ගන්න පුළුවන්කම ලැබෙනවා. ආයෙත් ණය ගන්නවා. ණයට අරන් කාලා බීලා ජොලියේ ඉන්නවා. ආයෙත් කොයි වෙලේ හරි හොම්බෙන් වැටෙනකන් ඒ විදියට යනවා. මෙහෙම රටක් ගොඩනගන්න බැහැ.

ජාතියට ජාතික විඥානයක්

ජාතියට පොදු ජාතික විඥානයක් දෙන්න ඕනේ. ජාතිකත්ව විඥානයට උඩින්, පක්ෂ විඥානවලට උඩින් ජාතික විඥානයක් හදන්න ඕනේ. මොන දේශපාලන බල පෙරළිය වුණත් රට හදන්න ගන්න තීරණවලට රුකුල් දෙන ජන සමාජයක් හදන්න ඕනේ. මහජනයාත් එක්ක බද්ධ වූ මහා ආර්ථික සංග්‍රාමයකට අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම නැතුව මෙවැනි අර්බුදයකින් රට ගොඩගන්න බැහැ.

ඉන්දියාව බලනවා, ලංකාවේ මුදල් වෙළඳපොළට ඉන්දියානු රුපියල රැගෙන එන්න. දෙමළ ජාතිවාදී කල්ලි කණ්ඩායම් බලාගෙන ඉන්නවා මේ වෙලාව පාවිච්චි කරලා ඩොලර් බිලියන දෙක තුනක් හරි උඩට උස්සලා පෙන්නලා අර ලබාගන්න බැරි වුණු බෙදුම්වාදී ඉල්ලීම් ටික ලබාගන්න. බටහිර බලවතුන් බලනවා, මේක හයිටියක් කරන්න; උනුන් මරාගන්න, නීතියක් නැති, පාලනයක් නැති, රාජ්‍යයක් නැති, රටක් බවට පත් කරන්න. ඒ නිසා තමුන්නාන්සේලා අපිට තීරණ ගන්න වෙන්නේ මේ හැම උවදුරක්ම, හැම අභියෝගයක්ම දිහා හරියට බලලා. එහෙම නැතුව අර ‘කෙටි කෑම කන’ තීරණ ගත්තොත්, ‘චූන් පාන්’ තීරණ ගත්තොත් මීට වඩා විශාල ව්‍යසනයකට අපේ අනාගත පරපුර ගොදුරු වෙන එක වළක්වන්න බැහැ.

නව සංවර්ධන උපායමාර්ගයකට..

මේ වේදිකාවේ තියෙන්නේ අතීතයට ආඩපාලි කීම නොවෙයි. අතීතයෙන් උගෙන, වර්තමානය සකස් කරගෙන, අනාගතය ජයග්‍රහණය කරවන්න ඕනෑ කරන ප්‍රඥාවන්ත නායකත්ව මැදිහත්වීමයි, උත්තර ලංකා සභාගයේ වේදිකාවෙන් අපි ඔබට සපයන්නේ. ඒ නිසා ප්‍රගතිශීලී, දෑ හිතකාමී, වාම බලවේග එකමිටකට එකතු වෙලා මේ ආණ්ඩුවේ වැරදි දේශපාලන උපායමාර්ගය පරාජයට පත් කරලා, නව සංවර්ධන උපායමාර්ගයකට අපේ රට ගෙනයන්න පෙරමුණ ගනිමු!”

මෙම ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතා උත්තර ලංකා සභාගයේ නායක මණ්ඩලය වෙනුවෙන් ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ.

එසේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී තිලකසිරි මහතා ද මෙම ජනතා සමුළුව ඇමතුවේය. පැමිණි පිරිස පිළිගැනීම උත්තර ලංකා සභාගයේ ජාතික විධායක සභික, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ගා. දේනෙත්ති මහතා විසින් සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් ගාල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply