වෛද්‍යවරයාගේ වයස 12 දියණියට හොර පාරෙන් ෆයිසර් එන්නත වීදීම ගැන පරීක්ෂණ

හලාවත ප්‍රදේශයේ එන්නත් මධ්‍යස්ථානයකදී ප්‍රභූ පවුලක වයස 18 ට අඩු කිහිපදෙනෙකුට විශේෂ සැලකිල්ලක් දක්වමින් කොරෝනා මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ සිදුවීමක් නිසා අද (26) ගැටලුකාරී තත්වයක් ඇති විය.
හලාවත කොක්කාවිල පාසලේ එන්නත්කරණ මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම වාර්තාවිය. උදෑසන සිට එම
ප්‍රදේශයේ ජනතාව පෝලිම් ගැසී තම වාරය එනතුරු රැඳී සිටියදී පිටපළාත්වලින් පිරිස් පැමිණ මෙහිදී එන්නත් ලබාගනුද වාර්තා වී ඇත.
පෝලිම් වල සිටින අය සිදුවන අසාධාරණය වෙනුවෙන් කෑමොර දුන්නත් ඒ ගැන බලන්නට කිසිවෙකු හෝ තබා තිබුනේ නැත.

මේ අතරවාරයේ පාසලේ යකඩ කම්බි වැට මෑත්කර කිසියම් ප්‍රභූපවුලක දියණියන් කිහිපදෙනෙකු එන්නත් ලබාගැනීම පිණිස පාසලට හොරෙන් ඇතුළුවූයේ එන්නත් වැඩසටහන සිදු කරන සෞඛ්‍ය සේවිකාවකගේ උදව් ඇතිවය. මෙම සිද්ධිය රූපවාහිනී කැමරාවටද හසුවූ නමුත් එම සේවිකාව කැමරාවට කියා සිටියේ මේව ගන්න එපා මේ ඩොක්ටර්ගෙ දුවලා ලෙසිනි. කෙසේ හෝ එකී දියනියන් අඩු වයසේ සිටිනු දැක සියල්ල බලාගෙන කිසිවක් නොකරමින් සිටි පොලිස් නිලධාරියෙකු විමසා තිබුනේ මේ වයසේ අයටත් එන්නත දෙනවාදැයි ලෙසිනි.
පසුව රූපවාහිනී වාර්තාකරු එකී දියනියන් එන්නත් කළ අයුරුද වීඩියෝගත කර තිබුණ අතර ඒ අය අතර වයස 12 දැරියකද සිටි බව වාර්තා විය.
මේ දක්වා  ශ්‍රී ලංකාවේ විශේෂ හේතුවකින් තොරව වයස 30ට අඩු අය එන්නත්කරණයට ලක් නොකළ අතර ඒ සම්බන්ධ වෛද්‍ය නිර්දේශ පවා සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර නොතිබිණි. වෛද්‍යවරයෙකුගේ ළමයින් යයි කියාගත්අයට එම නීතිඅදාළ නොවී මෙම එන්නත් ලබාදී තිබුණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද (26) ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵල මත අදාල වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කීවාය.
කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති මෙම දැරිය එම වෛද්‍යවරයාගේ දියණියක බවද ඇය සඳහන් කළාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය මේ සම්බන්ධ පැමිණිල්ලෙන් පසු පැවසුවාය

එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන්  ඉවතට යවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරය පාසලේ  සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා හලාවත කොක්කාවිල රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව පැවසේ.

මේ අතර කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් පැමිණි අයට එන්නත ලබා දුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම මධ්‍යස්ථානය අසල උද්ඝෝෂණයක යෙදීම නිසා එහි නොසන්සුන් තත්වයක්ද ඇතිවිය.
 

Leave a Reply