ඉන්ධන හිඟය දරුණු වුනේ ‘රටේ ඉන්ධන දිනකට පමණයි‘ රනිල් කළ ප්‍රකාශයෙන් පස්සේ

ananda-palitha-ranil

ඉන්ධන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ඉදිරියේ කුමක් ප්‍රකාශ කළද, වර්තමානයේ රට තුළ තිබෙනුයේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට පමණක් බව සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සහ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.   මෙලෙස අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශ හරහා රට තුළ ඉන්ධන පෝලිම් ඉහළ ගිය බව කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.  මේ අතර තෙල් පීරිපහදුවෙන් භූමිතෙල් මෙට්‍රික් ටොන් 620ක් නිකුත් කළද රටේ ජනතාවට නිසියාකාරයෙන් භූමිතෙල් බෙදා හැරීමට නොහැකි වී තිබෙන බවද පවසා සිටි ආනන්ද පාලිත මහතා,

“මේ මොහොත වනවිට තිබෙන ඉන්ධන තත්ත්වය තමයි මුතුරාජවෙලින් ඒක ඉන්ධන රථයක්වත් පිටවෙලා නෑ, ඉන්ධන රථ 15ක්වත් පිරවුම්හල්වලට පිටවෙන්නේ නෑ. ඒ තත්වය මතු වුණේ, රටේ තිබෙන පිරවුම්හල වලට ඉන්ධන ලබා දුන්නේ ඉන්ධන රථය පිරවුම්හලට ගියාට පසුව එම දිනය සටහන් කරලා අදාළ වටිනාකමින් යුත් චෙක් එක නිකුත් කළාට පස්සේ. අද ඉඳන් මුදල් තැන්පත් කළාට පසුව තමයි ඉන්ධන රථ යන්නේ. ඒත් මුදල් තැන්පත් කළ යුතු වුණාට ඉන්ධන ලබාදෙනවා කියන  සහතිකය තෙල් සංස්ථාව ලබා දෙන්නේ නෑ. අද සල්ලි බැන්දම අද දෙනවා කියලා සහතිකයක් නෑ. ලැයිස්තුගත කරලා තමයි ඉන්ධන ලබා දෙනවා කියලා ඔවුන් කියන්නේ.  මේ මොහොතෙත් සති දෙකක් තිස්සේ  ඉන්ධන නැති පිරවුම්හල් තිබෙනවා. දැන් තත්වය ඉතාම දරුණු විදියට උඩුදුවලා තිබෙනවා. අගමැතිතුමා කියනවා දින 7ට ඉන්ධන තිබෙනවා කියලා. එතුමාට කවුරු මේ වාර්තා දුන්නද කියන එක තමයි ගැටලුව. මොකද දිනකට දැන් තිබෙන තත්ත්වය අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක් ඕන.

ඩීසල් අවම මෙට්‍රික් ටොන් 6,000ක් ඕන. ඒත් මේ වනවිට පෙට්‍රල් තිබෙන්නේ මෙට්‍රික් ටොන් 6,000යි. ඩීසල් තිබෙන්නේ මෙට්‍රිටොන් 12,000යි. ඒ කියන්නේ ඩීසල් දින දෙකකටයි, පෙට්‍රල් එක දිනයකටයි තිබෙන්නේ. ඉන්ධන මේ ප්‍රමාණය හෝ රැඳුනේ පසුගිය 07වැනිදා සිට ඉන්ධන බෙදුවේ මෙට්‍රික් ටොන් 2,000ට අඩුවෙන්. ඒකෙන් තමයි මේ පෝලිම් වැඩි වුණේ. දැන් පිරිපහදුවෙන් භූමිතෙල් මෙට්‍රික් ටොන් 620ක් නිකුත් කරනවා. එත් රටේ ජනතාවට භූමිතෙල් බෙදන්න බැරි වෙලා තිබෙනවා. එවැනි බරපතළ අර්බුදයකට තල්ලු කරලා අගමැතිතුමා කියනවා 50%ක් විතරයි ඉන්ධන දෙන්නේ කියලා. මේක බරපතළ ප්‍රකාශයක්. පෝලිම් වැඩිවීමට එතුමාගේ ප්‍රකාශ බලපාලා තිබෙනවා. ඒ වගේම ලෝක ආහාර හිඟයක් එනවා කියලා රුපියල් 220ට සර් කළු කඩේ ගන්න තිබුණු සහල් මේ වනවිට රුපියල්. 270 ඉක්මවලා තිබෙනවා. දැන් අගමැතිතුමා කියනවා ගෑස් නැව ආවා ගෑස් ජනතාවට දෙන්නේ නෑ කියලා. ගෑස් දෙන්නේ හෝටල්වලටයි, රෝහල්වලටයි, විශේෂ තැන්වලට කියලා. ගෑස් දෙන්න බැරි නම් එතුමා භූමිතෙල් දීලා ඉන්න ඕන. මේ වනවිට භූමිතෙල් නොමැති වීමෙන් කොළඹ මාර්ග ගණනාවක් දැනුත් වහලා. භූමිතෙල් ටික දෙන්නත් බෑ. ගෑස් දෙනෙත් නෑ. එතුමා කියනවා 50%න් තෙල් දෙන්නෙත් නෑ කියලා. දැන් නැව් දෙකක් ඇවිල්ලා තිබෙනවා කියනවා. මේ නැව් දෙක අරන් තිබෙන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකට නෙවෙයි” යනුවෙන් සඳහන් කළේය.

 දිනේෂ් සමරකෝන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply