පිළිස්සී මියගිය දැරියට සාධාරණය ඉල්ලා රිෂාඩ්ගේ නිවස ඉදිරියේ විරෝධතා – (video)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මිය ගිය දැරිය පිළිබද තවදුරටත් කරුණු සොයා බැලීම සදහා බොරැල්ල පොලිසියේ සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඇයගේ ගම වන ඩයගම ප්‍රදේශයට පිටත්කර යවා තිබෙනවා.
මේ අතර මෙම සිද්ධියට විරෝධය පල කරමින් රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිටදී අද විරෝධතාවක් පැවැත්වුණා. ඒ වගේම ඩයගම ප්‍රදේශයේ ජනතාවත් අද උද්ඝෝෂණයක නිරත වුණා. දැරියගේ සොහොයුරා පවසන්නේ තම නැගණිය මෙහෙකාර සේවයට ගියදා සිට  නිවසට නොපැමිණි බවත් ඇය බැලීමට දෙමාපියන් සමග බදියුදීන් මහතාගේ නිවසට ගියද ඔවුන් ඊට ඉඩ ලබා නොදුන් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක මිය ගොස් තිබුණේ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදීයි. හැටන් ඩයගම ප්‍රදේශයේ පදංචි මෙම දැරිය තැරැව්කරුවෙකු මාර්ගයෙන් අදාළ නිවසේ මෙහෙකාර සේවය සදහා ලබා ගෙන තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. බදියුදීන් මහතාගේ බිරිද ඇතුලු හතර දෙනෙකුගේ දුරකතන ඇමතුම් වාර්තා පොලිසිය වෙත ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුරකතන සමාගම් කිහිපයකට ඊයේ නියෝග කළේද ඒ අනුවයි. මිය ගිය දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට ගෙනවිත් භාරදුන් තැරැව්කරුගේ බැංකු ගිණුම්වල විස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය අදාල බැංකුවලට ද නියෝග කළා.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සහභාගිත්වයෙන්. මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද ඊට එක්ව සිටියා. මිය ගිය දැරියට සාධාරණයක් ඉටු විය යුතු බවයි උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී මිය ගිය දැරිය පිළිබද පරීක්ෂණ විධිමත් කරන ලෙස ඉල්ලමින් ඩයගම ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් උද්ඝෝෂණයක නිරත වුණා. දැරියගේ උපන් ගම වන ඩයගම පැවති මෙම විරෝධතාවයේ දී ප්‍රකාශ වුණේ දැරිය රුපියල් විසි දහසක මාසික වැටුපකට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවයට පැමිණ ඇති බවයි. දැරිය ලිංගික අතවරයන්ට ලක්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිව ඇති බැවින් ඊට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ.
මිය ගිය තම සොයුරිය බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම නිවසට නොපැමිණි බවත් ඇය බැලීමට තමන් දෙමව්පියන් සමග නිවසට ගිය අවස්ථාවේ ඇය බැලීමට බදියුදීන් මහතාගේ නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බවත් දැරියගේ සොහොයුරු තිරු ප්‍රසාද් මෙහිදී පැවසුවා.
මිය ගිය දැරියගේ අවසන් කටයුතු ඉකුත් දා හත් වනදා ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

[embedded content]



Leave a Reply