කොරෝනා ව්‍යාප්ත කරලා දැන් ඇදන් ගැන කතා කරලා වැඩක් නෑ..- නාමල්

August 13, 2021 at 8:02 am | lanka C news

කොරෝනා ව්‍යාප්ත කරලා දැන් ඇදන් ගැන කතා කරලා වැඩක් නෑ..- නාමල්

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වත්මන් තත්ත්වය හා රෝහල් පරිශ්‍රය තුළ ඉඳිකෙරෙමින් පවතින නව රෝහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය සඳහා  එක්වෙමින්  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

නවීන පහසුකම් සහිතව රෝහල් පරිශ්‍රය තුළ ඉඳිවන නව වාට්ටු සංකීර්ණය හා ශල්‍යාගාර සහිත රෝහල් ගොඩනැගිල්ලේ අවසන් අදියරේ පවතින ඉදි කිරීම් කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම අනුව කලුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ මේ වනවිට ඉදිවෙමින් පවතින මහල් 08 කින් යුතු නව රෝහල් ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් ජනතාවට පරිහරණය කළ හැකි පරිදි කඩිනමින් නිම කර භාරදීමට නියමිතය‍.

මෙම රෝහල් ගොඩනැගිල්ලේ මහල් 06 ක වැඩ කටයුතු මේ වන විට 95% ක් පමණ නිමකර ඇති අතර, එම මහල් 06 සතියක් තුළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා ලබාදීමට කටයුතු සකස් කර ඇත

ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2019 වර්ෂයේ ආරම්භ කර ඇති අතර, මන්දගාමීව සිදු වූ ඉදිකිරීම් කටයුතු වර්තමාන රජය මීට මාස 04 කට පමණ පෙර කඩිනම් කිරීමට පියවර ගනු ලැබීය.

නවීන ශල්‍යාගාර 06 ක්,  රසායනාගාර පහසුකම්, හදිසි අනතුරු ඒකකයක්, බාහිර රෝගී අංශයක් ඇතුලු ඇදන් 400 කට ආසන්න ධාරිතාවකින් යුතු වාට්ටු සංකීර්ණයකින් මෙම නව ගොඩනැගිල්ල සමන්විත වෙයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ දකුණු කොළඹ ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉඳිවන මෙම රෝහල් වාට්ටු සංකීර්ණය කඩිනමින් සකස් කර භාවිතයට ගැනීමෙන් රෝගීන් සදහා අවශ්‍ය වාට්ටු අර්බුදයට විසදුමක් ලබා ගත හැකියි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

2000 වර්ෂයේ සිට ඉතාමත් මන්දගාමී ලෙස හදාගෙන එන මෙම ගොඩනැගිල්ලේ වැඩ කටයුතු පසුගිය මාස කිහිපය තුළ ඉතාමත් කඩිනමින් සිදුකර තිබෙනවා. තව සති කිහිපයකින් මෙහි වැඩ නිම කරන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ස්වෙච්ඡා වැඩසටහනක් ලෙස ජාතික තරුණ සේවා සභාව හා යොවුන් සේනාංකය එක්ව තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම ගොඩනැගිල්ල සුද්ධ පවිත්‍ර කරදෙන්න කටයුතු කරනවා.

අපි සියලුදෙනාම එකතු වෙන්න ඕන අවස්ථාවක් මේක. ඉතාමත් වේගයෙන් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙන වෙලාවක්. අපි සියලුදෙනා පරිස්සම් වෙන ගමන් මේ වැඩවලට සහාය දෙන්න අවශ්‍යයි.

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ඇදන් 10,000 වැඩසටහන හරහා ලබා දුන් ඇදන් අද භාවිතා කරනවා. ඒ වැඩසටහන හරහා  ඇදන් 16,000 ක් සකස් කර භාර දෙන්න  අපිට හැකි වුණා.

ඒ ඇදන්  නොතිබුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඒ කෙසේ වෙතත් ඇදන් හදන එක, රෝගීන් වැඩි කරගන්න එක නෙවෙයි අපි කළ යුත්තේ.

හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් මෙම වසංගතය ව්‍යාප්තවීම වළක්වා ගත යුතුයි.

මේ වසංගතය ව්‍යාප්ත කරලා, ව්‍යාප්ත කරන්න අනුබල දීලා, ව්‍යාප්ත කරන එක දේශපාලන කාරණයක් කරගෙන තමන්ගේ දේශපාලන න්‍යාය ඉටු කරගැනීමේ අරමුණින් කොවිඩ් ව්‍යාප්ත වුණාට පස්සේ ඇදන් ගැන කතා කරලා වැඩක් වෙන්නේ නැහැ.

අපි කරුණාවෙන් ආදරයෙන් ඉල්ලන්නේ මේ වෙලාව වෘත්තීය අරගලවලට සුදුසු කාලයක් නොවේ.

අපි වෘත්තීය අරගලවලට සහාය දෙනවා. අපේ දේශපාලන ගමන තුළ අපිත් වෘත්තීය අරගල කරපු අය.

වෘත්තිය අරගලය කරන කොට තවත් කෙනෙක්ගේ ජීවිතය අමාරුවේ වැටෙන ලෙස නොකළ යුතුයි කියන එක තමයි සැබෑ වෘත්තීය අරගලයේ බලාපොරොත්තුව.

මේ වෙලාවේ සෞඛ්‍ය අංශවලට තමන්ගේ කාර්යභාරය ඉටු කිරීමට හැකිතාක් සහාය දිය යුතුයි. ඒ සහයෝගය ලබා දෙමු කියන ආදරණීය ඉල්ලීම මම සියලුදෙනාගෙන් කරනවා.

පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල කියන කාරණයේදී ජනාධිපති කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පැහැදිළිව මෙම වසංගත තත්ත්වය පාලනය කරගෙන ආවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් ඉල්ලීම් කළේ එන්නත ගෙනත් දෙන්න කියලා. අද ඉතාමත් වේගයෙන් එන්නත්කරණය කරන රට බවට අපි පරිවර්තනය වෙලා තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන සෑම අවස්ථාවකම රජය අවශ්‍ය සංචරණ සීමා පනවන්න කටයුතු කළා. රටේ සාමාන්‍ය ජනතාවට, රටේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයට අපි කටයුතු කළා.

සමහර අය මේකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා. අපි ඒක දැක්කා. ඒ අයුතු ප්‍රයෝජන ගන්න අනුබල දීපු අය සමහරවිට දැන් කියන්නේ මේ ක්‍රමය වැරදී කියලා.

ආණ්ඩුවක් ලෙස අපි තීන්දු තීරණ ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් අපි ඉටු කළා. එන්නත්කරණ කටයුතු මෙන්ම කොවිඩ් පාලනය සදහා අවශ්‍ය කාර්යය මණ්ඩලය මදි කියන අවස්ථාවලදී අපි ත්‍රිවිධ හමුදා නිළධාරීන්ගේ සහය ලබා දුන්නා.

ගමේ යාන්ත්‍රණය සක්‍රීය කරලා එන්නත්කරණය සාර්ථකව සිදු කරගෙන යනවා. මෙතනින් එහාට අපි කළයුත්තේ මෙම වසංගතය ව්‍යාප්තවීම පාලනය කරන එකයි.

විපක්ෂයට ජනතාව ගැන හැගීමක් නැහැ. ජනතාවට මොනවා උනත් ඒ අය ඒ අයගේ දේශපාලන න්‍යාය කරගෙන යනවා.  ජනතාව කෙරෙහි කිසිම අනුකම්පාවක් නැහැ. ඒක අපි දැක්කා ඒ අය හැසිරෙන විදියෙන්.

පාස්කු ප්‍රහාරය වෙලාවේ හැසිරුණු විදිය හා සමානයි මේ කොරෝනා වසංගතය රටේ තියෙන වෙලාවේත්. ඒ හැසිරීම් දෙක අතර අදටත් මම නම් කිසිම වෙනසක් පෞද්ගලිකව දකින්නේ නැහැ.

අපි විපක්ෂයට කියන්නේ හැකිතාක් තමන්ගේ පාක්ෂිකයාව දැනුවත් කරන්න කඩිනමින් ගිහින් එන්නත ලබාගන්න යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ යන මහත්වරුන් සහ සෞඛ්‍ය අංශ නිළධාරි මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

215 views

Leave a Reply