කාල කළමනාකරණය බුද්ධ චරිතය ඇසුරින් දැන ගනිමු

වත්මන් සමාජයේ බොහෝ දෙනකුට කාලය පිළිබඳ ගැටලු තිබෙන බව පෙනෙනවා. ඇතැම් අයට ඉටු කිරීමට ඇති කටයුතු අප්‍රමාණ යි. ඒත් ඒවාට කාලය හරස් වෙලා. මේ හේතුව නිසා ම සමහරුන් අතිරේක වෙහෙසකර තත්වයකට පත්ව සිටිනවා. කාල කළමනාකරණය දැන් බොහෝ අය අතර ජනප්‍රිය මාතෘකාවක්. කාලය ගැන කෙතරම් ගතු කීවත් සමාජයේ බොහෝ අය කාලය නිරපරාදේ නාස්ති කරන්නේ නැද්ද?

සම්ප්‍රප්පලාප දොඩමින් පැය ගණන් නිකරුණේ ගත කරන්නේ නැද්ද? අප ශාස්තෘන්වහන්සේ තම දින චර්යාව සකසා ගත් ආකාරය ඔබ දන්නවා ද? දෙව් මිනිසුන් ගේ හිතසුව පිණිස   උන්වහන්සේ සිය කාල වේලාව උපරිමයෙන් කැප කළ ආකාරය අපි දැන් විමසා බලමු. අලුයම දෙක වන විට උන්වහන්සේ නින්දෙන් පිබිදුණා. අනතුරුව පිරිසුදු වී මුළු ලෝකයාට ම කරුණාව පතුරනවා. එය මහා කරුණා සමාපත්තිය යි.  ඉන්පසුව උන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටිනවා. සමාධිය තුළ හිඳිමින් දවස ඇතුළත පිහිට විය යුතු කාටදැයි විමසා බලනවා. මීළඟට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. කවදාවත් ම තමන්ට ලැබෙන ආහාරය ගැන සිතා බැලුවේ නැහැ. ඒ වෙනුවෙන් කාලය ගත කළේ නැහැ.

උන්වහන්සේට ලැබුණු දෙයක් වැළඳුවා. අනෙක මෙවන් උත්තමයකුට දන් ටිකක් පූජා කරන්නට ලැබීම ම මනුෂ්‍යයාට විශාල ලාබයක්. ඒ නිසා ඒ අවස්ථාව උන්වහන්සේ මනුෂ්‍යයන්ට ලබා දුන්නා. එක ගෙදරකින් පිළිගත්තේ එක බත් පිඩයි. එයින් බොහෝ දෙනකුට දානයට ඉඩ සැලසුණා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලැබුණු විට උන්වහන්සේ එළගපාත කොහේ හරි ගහක් යට හෝ වෙනත් විවේකී තැනක තැන්පත් වෙලා එය වැළඳුවා. ඒ වෙලාවෙදි එතැනට කවුරුන් හෝ ආවත් ඒ අයටත් දහම් දෙසනවා. ඊළගට තමන් වහන්සේ පිහිටවිය යුතු යැයි තීරණය කළ පිරිස සොයා ගෙන චාරිකාව අරඹනවා. ඒ අයට ධර්මය උගන්වනවා. මෙයින් ඔවුන් දුකින් මිදෙනවා. උන්වහන්සේ දවසට ම වැළඳුවෙ එක වේලයි. දිවා කාලයේ දී සැඩ හිරු තාපයෙන් මිදෙන්න මඳක් වනගත වෙනවා. එහෙම වනයක් ළඟපාත නැතිනම් ගහක් යට නැවතිලා ඉන්නවා. ටික වේලාවක් මේ විදියට විවේකී වී යළි සමාධිගත වෙනවා. සවස් වරුවේදී පැන් පහසු වෙනවා. ඉන්පසු ව වඩිනවා දම්සභා මණ්ඩපයට. භික්ෂූන් වහන්සේට දේශනයක් කරනවා.

ජීවිතාවබෝධයට ඉතා වැදගත් යමක් මෙහිදී කියැවෙනවා. තමන් වහන්සේ නිකෙලෙස්භාවයට පත් වූ සේ ම භික්ෂූන් වහන්සේ ද ඒ වෙත පෙළඹවීමක් කෙරෙන්නා වූ ආකාරයේ දේශනයක් මෙය හැමවිට ම. ” අප භාග්‍යවතුන් වහන්සේ හමුවීමට දිව්‍ය බ්‍රහ්ම පිරිස් පැමිණෙන්නේ රාත්‍රී 10 ත් 12 ත් අතර යි. මේ අය ගේ අවබෝධය පිණිස මේ කාලය ඇතුළත ධර්මය විස්තර කෙරෙනවා. උන්වහන්සේ ගේ නායකත්වය මනුෂ්‍ය ලෝකය ඉක්මවා ගිය බව ඔබ දැනටමත් දන්නවානේ. රාත්‍රී 12 සිට පැය දෙකක් පමණයි උන්වහන්සේ සැතපුණේ. මේ දෙපැය සැතපෙන්නට සුව සයන හෝ කොට්ටා උන්වහන්සේ සෙව්වේ නැහැ. තම දෙඅත යි උන්වහන්සේට කොට්ටා වුණේ. ඉතින් මේ අප භාග්‍යවතුන් වහන්සේ ගේ දින චර්යාව හැමවිට ම මේ විදියට ම පැවතුණා. බලන්න උන්වහන්සේ මොනතරම් ප්‍රයෝජනවත් ආකාරයට සිය කාලය වැදගත් කාර්යයන්හි යෙදවූවා ද කියා. මෙය අපට විශිෂ්ට පූර්වාදර්ශයක් නො වේ ද? උන්වහන්සේ ආහාරය හෝ නින්ද වැනි අප ඉතා වැදගත් කොට සලකන කාරණාවලට හිමිකර දී තිබෙන්නේ මොනතරම් අඩු වටිනාකමක් ද? අප මනසට විවේකය දීමට පුරුදු වී සිටින්නේ නින්ද ලැබීමකින්. ඒත් නින්දේ දී වුවත් බියකරු සිහින පෙනෙනවා නේද?

චිත්ත සමාධි (භාවනාවකින් උපදින) තරම් සිත්තේ විවේකයට ඖෂධයක් තවත් මෙලොව නැති බව බොහෝ අයට වැටහෙන්නේ නැහැ. අනෙක් අතට වර්තමාන ලෝකයේ මනුෂ්‍යයා කාලය පිළිබඳ සුවිශාල අර්බුදයකට මැදි වී සිටින බව අපට පැහැදිලි යි. මේ අර්බුදයට මනුෂ්‍යයා මැදි කෙළේ වත්මන් සමාජ රටාව යි. දැන් සිතා බලන්න අපේ පැරැන්නන්ට මේ අර්බුද තිබුණා ද කියා. එකල ජීවත්වුණේ ගොවිකමින්. එය ඉතා සුන්දර ජීවන ක්‍රමයක්. ඒ අයට හොඳ විවේකයක් තිබුණා. නිරවුල් මනසකින් යමක් සිතා බලන්න අවකාශ ලැබුණා. ඒ අය ලෞකික වශයෙන් දියුණු වන අතර ම භාවනා ආදියේ යෙදෙමින් ලෝකෝත්තර වශයෙනුත් දියුණු වුණා. දැන් අපට වැදගත් තවත් දෙයක් බටහිර සිදුවෙමින් පවතිනවා. ඒ රටවල ජනතාව තම තමන්ගේ නිවෙස්වල ම සිටිමින් නව තාක්ෂණය අනුව රැකියාවල නියුතු වෙනවා. මෙයින් විශාල කාලයක් මිනිසාට ඉතිරි වෙනවා. දැන් දැන් ඔවුන් මේ අනුව තමාට විවේක කාලයක් උපයාගෙන තිබෙනවා. ඒත් අපේ වගේ රටවල දී මේ තත්ත්වය හාත්පසින් ම වෙනස්. මේ නිසා ම විශාල අසහනකාරී තත්වයන්ගෙන් අපේ රටවල ජනතාව පෙළනවා. අපේ බොහෝ අය ඉන්නවා භාවනාවක් කරන්නට කැමැතියි, හැබැයි වෙලාව නැහැ.

මේ ළගක දී එක්තරා නෝනා කෙනෙක් මා හමුවෙන්නට ඇවිත් කියනවා ‘ස්වාමීන් වහන්ස, මං භාවනා කරන්න කැමැතියි. ඒත්, මට ඒ සඳහා ටිකක්වත් වෙලාව නැහැ කියා. මං එවිට මෙහෙම ඇහුවා ඇගෙන්. “හොඳයි, ඔබට රැකියාවයි, වෙනත් ගෘහ කටයුතු නිසා භාවනාවට වෙලාව නැහැ. ඒත් මං ඔබට සතියක් සිංගප්පූරුවට යෑමට ගුවන් ටිකට්පතක් ලබා දුනෝතින් ඔබට ඒ සඳහා කාලය තිබේවි ද, නොතිබේවි ද?’

‘ දැන් මේ විදියට කෙනකුට අවශ්‍ය වියදම් හෙවත් ලබා දී සතියක් විදෙස්ගත වෙන්න කියා යෝජනා කළහොත්, ඒ සඳහා  ඒ පුද්ගලයා ඉතා ඉක්මනින් කාලය සපයා ගන්නවා නේද? ඇත්තෙන්ම අප ගේ කාලය තිබෙන්නේ අපට ඇති වුවමනාවේ ප්‍රමාණයට යි. මෙහි දී වැදගත් වන්නේ උනන්දුව යි. කාලය තිබෙන්නේ අවශ්‍යතාව මත නම්, ඒ අවශ්‍යතාව අදාළ පුද්ගලයාට හොඳින් දැනෙන්නට අවශ්‍යයි. නො එසේ නම් සදහට ම ඔබට කාලයක් උපයා ගත නො හැකි වේවි. දැන් අපි ගනිමු කෙනකුට භාවනා කිරිමට අවශ්‍යයි. ඒත් කාලය ගැටලුවක් ව පවතිනවා ය කියන අවස්ථාවක්. මෙහිදී ඒ පුද්ගලයා කිසි ම විටෙක කාලය සෙවිය යුතු නැහැ. ඔහු අනුගමනය කළ යුතු වෙනත් ක්‍රමයක්. ඔහුට අවශ්‍ය වන්නේ පරිසරයකි. කාලය නො වේ. දැන් මේ වගේ තත්වයක් ගැන හිතන්න. කෙනෙක් රැකියාව නිමා කොට වෙහෙස වී ගෙදර යනවා. මෙවිට එවැනි අයෙක් බලාපොරොත්තු වන්නේ මුළුමනින් ම නිදහසක්. ඒත් මෙන්න මේ නිදහසත් සමග ම ඒ පුද්ගලයා තමා ගේ වීර්යය නැතිකර ගනී.

මෙවැනි අයකුට භාවනාවක් සඳහා හුරුවීමට ක්‍රමයක් දැන් මා කියන්නම්. ඔහු සිය නිවෙස බලා ගොසින් පිරිසුදු වී කා බී මෙයින් පසු කාලයක් වෙන්කර ගත යුතුයි බුද්ධ වන්දනාවට. මුළු පවුලට ම මෙයට එක්වීමට පුළුවන්. මේ වෙලාව දවසින් පැය භාගයක් වැනි සුළු කාලයක් වන්නට පුළුවන්. එහෙත් ඒ කාලය හොඳින් බෙදා වෙන්කොට ගෙන බුද්ධ වන්දනාවේ යෙදී, පිරිතක් කියා මින් පසු විනාඩි දහයක් පමණ බුද්ධානුස්සතිය වැඩිය යුතුයි. දැන් බලන්න මෙය ඉතා හොඳ ප්‍රවේශයක්. දැන් ඔහු දන්නවා ඔහු සිය ජීවිත කාලය තුළ දී එදා පටන් විනාඩි දහයක භාවනාවක නිරත වෙන බව. ඔහු ඒ කාලය අලුතින් නිර්මාණය කළේ නැහැ. ඒත් ඔහු නිර්මාණය කරගත් පරිසරය තුළ එයට ඔහු යොමු වුණා. දැන් මෙයින් පසු ඔහුට භාවනාවට වේලාව නැති ය යන ගැටලුව ඇති නො වේ. මේ ආකාරයට දිගින් දිගට ම මේ වැඩපිළිවෙළේ යෙදෙන විට තමාට භාවනාව සඳහා ඇති කාලය මඳ බව ඔහුට වැටහෙන්නට ගන්නවා. මෙන්න මේ අවස්ථාවේ දි කිසියම් කාලයක් අළුතින් නිර්මාණය කර ගැනීම පිළිබඳ ව ඔහු සිතන්නට පටන් ගන්නවා. මෙවිට ඔහු පිලිගන්නවා ඔහුට මදක් උදයෙන් නැගිටීමට පුළුවන් බව. මෙතෙක් ඔහු උදයට පිබිදුනේ 5.30 ට නම් මෙයින් වෙනසක් නෙවෙයි. ඒත් ඒ විනාඩි පහළොව භාවනාවකට යොමු කිරීම මොන තරම් ජයග්‍රහණයක් ද ජීවිතයකට ලැබෙන.

මෙවැනි කෙනෙක්ට තවත් කාලය උපදවා ගැනීමේ වුවමනාව ඇති වූ විට එවැන්නෙක් තමා පිපිදෙන වේලාව පෙරවරු පහ දක්වා වෙනස් කර ගන්නවා. මෙවිට ඔහුට නො දැනීම ඔහුට අවශ්‍ය පරිසරය සැකසෙනවා. මෙන්න මේ නිසයි මා කීව්වේ කාලය නිර්මාණය වන්නේ පරිසරය තුළ බව. පරිසරය සකස් වනවා නම් කාලය ද සැකැසේ.දැන් තවත් අය සිටිනවා රූපවාහිනිය නැරැඹීමට විශාල කාලයක් ගත කරන්න. ඉතින් මෙවැන්නන්ට පුළුවන් ඒ කාලය ටික ටික අඩු කරන්නට. මෙයින් ඔහු තම පරිසරය යි වෙනස් කර ගන්නේ. සමහර වෙලාවට නරඹන රූපවාහිනී වැඩසටහන් නිසා අපේ සිත් මුළුමනින් ම අවුල් වෙනවා. මේ අවබෝධය තිබෙන කෙනා මෙවැනි වැඩසටහන් ඉක්මනින් අත් හරිනවා. මෙය ඒ පුද්ගලයා ගේ යහපත පිණිස ම යි පවතින්නේ . ඒවා අත්හැර දමා ඒ කාලය ඇතුළත දහම් පොත්පත් ආදිය කියවන විශාල පිරිසක් දැන් මේ රටේ සිටිනවා. මෙය එතරම් ප්‍රකට ව නො පෙනෙනවා ඇති. ඒත් එවැනි පිරිසක් නිර්මාණය වී සිටිනවා. අනෙක තමා ගේ වැඩකටයුතු ඉක්මනින් අවසන් කරන්නට මෙවැනි අය පෙළඹී සිටිනවා. ඒ අය දන්නවා තමා ගේ දෛනික කටයුතු පමා නො වී අවසන් කළ තරමට තමාට භාවනාව සඳහා කාලය ඉතිරි වන බව. දැන් මා හමුවීමට පැමිණෙන ඇතැම් මවුවරුන් මට මෙහෙම කියනවා.

“ස්වාමින් වහන්ස, ඉස්සර නම් අපිට මුළු දවස ම තිබුණත් මදි. වැඩවල ඉවරයක් නෑ. අපි ඔහේ ඕපාදූප කතා කර කර ඉන්නවා. කාලය පිළිබඳ කිසිම සැලැස්මක් නෑ.

වත්ත පිටියේ ඇවිදිමින් ලොකු කාලයක් ගත කරනවා. ඒත් දැන් අපි හරි වෙනස්. උදේට නැගිට්ට වෙලාවෙ ඉඳලා දැන් ඉක්මනින් වැඩ කරනවා. උයා පිහා සේදීම් කටයුතු නිමවූවාට පසු අපට නිදහස ලැබෙනවා. අනවශ්‍ය ඕපදූප කතා දැන් නැහැ. ඒ විවේකය දහම් පොත පත කියවීමට, භාවනාවට යොදා ගන්නට පුළුවනි.”  දැන් බලන්න මේ මේ ජීවිත මොන තරම් වෙනසකට භාජනය වීමක් ද? මොනතරම් දියුණුවක් ද? ඔවුන් කෙළේ කුමක් ද? තමන්ගේ පරිසරය වෙනස් කර ගැනීම නො වේ ද? මේ සඳහා අවශ්‍ය වන්නේ කාලය නොව වුවමනාව යි. මෙයින් බැහැරව මොනතරම් කාලයක් අපට කාලය නැතැ යි මැසිවිලි කීවත් ඔබට කාලය නිර්මාණය වන්නේ නැත. කාල කළමනාකරණය සිදුවිය යුත්තේ තමා හිතාමතා සකසා ගන්නා පරිසරය තුළ යි. ඒ පරිසරය තුළ තමා වැදගත් කටයුතු සඳහා යොමුවේ. තමා මෙතෙක් යෙදෙමින් සිටි නොවැදගත් වැඩ ගැන ඔහුට දැන් පෙනෙන්ට පටන් ගැනේ. මෙවිට ඔහු ඒවා අත්හරියි. තමා තුළ පරිසරයක් නිර්මාණය කර ගැනීමේ සැබෑ වුවමනාව ඇතිවන තුරු ම ඒ පුද්ගලයාට තමා මෙතෙක් යෙදෙමින් සිටි නිරර්ථක කටයුතු ගැන නො වැටහේ.

පුද්ගලයකුට තමා නිතිපතා ලබන නින්දෙන් පැය භාගයක් අඩු වූ පමණින් ජීවිත පැවැත්ම අවුල් වන්නේ නැත. ඔහු කෙළවරක් නැතිව අනුන් ගේ ජීවිත හාරවුස්සා බලමින් ඕදූප කතා, කතා නො කළාට ජීවිතයකට සිදුවන පාඩුවක් නැත. අපට ඇති ගැටලුව නම් මෙවැනි දේවලට අප නො දැනීම ඇදී ගොස් අපේ ජීවිතවලින් බොහෝ කාලයක් මේවා නිසා නැති නාස්ති වී යෑම යි. අනතුරු ව අපි අපට කාලය නැතැ යි මැසිවිලි ද කියමු. ඔබට කාලය නැතිනම් එයට වගකිව යුතු ද ඔබ ම ය. ඔබ ඔබට අවශ්‍ය කාලය නොව පරිසරය ගැන සිතන්න. එය නිර්මාණය කරන්න. මෙතෙක් ඔබ ගේ කාලය නිරපරාදේ වැයවෙමින් තිබූ බව මෙවිට ඔබට වැටහෙන්නට ගනීවි.
උපුටනය
පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
(සටහන – තනුජා ධර්මපාල)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply