පොහොර ප්‍රශ්නයෙන් සමාජගත වූ මිත්‍යා මත

එක්සත් ජනපදයේ වෛද්‍යවරයකු විසින් මීට දශකයකට පමණ ඉහත දී ඇපල් සම්බන්ධව කරන ලද ප්‍රකාශයක් එක රැයකින් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් විය. රූපවාහිනී තිරය හරහා ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගාගෙන සිටි ඔහු තම රූපවාහිනී වැඩසටහන හරහා මහජනතාවට අනතුරු ඇඟවූයේ වෙළඳපොළේ ඇති ඇපල් යුෂ වල ආසනික් ඇති බැවින් ඒවා මිලදී ගැනීමට වඩා ඇපල් මිරිකා ගෙදරදීම යුෂ ගැනීම වඩාත් සුදුසු බවයි. ඔහු කී දෙය, සත්‍යය මතුපිටින් පමණක් අතගා කරන ලද නොමගයනසුළු ප්‍රකාශයකි. සත්‍යය නම් ඇපල් යුෂ වලට ආසනික් ඇතුළු කරන්නේ ඇපල් යුෂ මිරිකන කර්මාන්තශාලා වලින් නොව නැවුම් ඇපල් ගෙඩිවලින්ම වීමයි. වඩාත් වැදගත්වන විද්‍යාත්මක සත්‍යය නම්, ඇපල් වල තිබෙන්නේ ප්‍රධාන වශයෙන් පසෙන් ස්වභාවිකවම අවශෝෂණය කරගන්නාවූ, අපට හානිකර නොවන මට්ටමේ, අංශු මාත්‍රික ආසනික් ප්‍රමාණයක් පමණි. නමුත් විද්‍යාත්මක තොරතුරු සොයා නොබලා තාවකාලික ප්‍රසිද්ධිය තකා ඉහත වෙදැදුරුතුමා කළ ප්‍රකාශය මගින් සමාජය තුළ අනවශ්‍ය කළබැගෑනියක් ඇතිවිණි. කෙසේ නමුත් වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, ඔහුගේ ව්‍යාජ ප්‍රකාශයන් අතුගා දැමීමට සමාජය තුළින්ම ඇතිවූ ඉක්මන් ප්‍රතිචාරයයි. විද්‍යාව පදනම් වූ සත්‍යය ඉක්මනින් හා කාර්යක්ෂමව මහජනයා සමඟ බෙදාගැනීමට විද්‍යාඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් මාධ්‍ය ආයතනයන් ඇතුළු බොහෝ දෙනෙකු දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයට පින් සිදුවන්නට අසත්‍ය තොරතුරු සමාජගතවීමට තිබුණු ඉඩකඩ ඇසිරුණි.

ඉහත පැරණි කතාවේ මගේ මතකයන් නැවත පණ ගැන්වුනේ මීට සති කිහිපයකට පෙර ලංකාවේ සිදුවූ මෙවැනිම සිදුවීමකිනි. මෙම නව සිදුවීම සිදුවූයේ “පස සහ වස” පිළිබඳවූ ලංකාවේ රූපවාහිණී විවාදයක් අතරතුරදීය. සමහරවිටක ඔබ දැනටමත් අනුමාන කර ඇති පරිදි මෙම විවාදයේදී සාකච්ඡාවට බඳුන් වූයේ ආන්දෝලානාත්මක මාතෘකාවක් වූ කාබනික පොහොර ප්‍රතිපත්තියයි. විවාදය අතරතුරේදී වෛද්‍යවරයකු කියා සිටියේ රසායනික පොහොර මෙරටට හඳුන්වා දීමට පෙර ලංකාවේ පසෙහි ආසනික් නොතිබූ බවයි. මගේ පළමු ඇමරිකානු කතාවේදී මෙන්ම මේ ලංකාවේ කතාවේ දොස්තර මහතාගේ තර්කයත් විද්‍යාත්මක තොරතුරු සොයා නොබලා කරන ලද ප්‍රකාශයකි. නිවැරදි තොරතුරු සොයා බැලීමට උනනන්දුවක් තබුණා නම්, පසෙහි ආසනික් ස්වභාවිකව ඇතිවීම පිළිබඳ කරුණු ඔහුට මග හැරීමට ඉඩක් නැති බව මගේ විශ්වාසයි. ශ්‍රී ලංකා සන්දර්භය තුළ හොඳම උදාහරණය ඇපල් නොව සහල්ය. සහල් සෑම විටම පසෙන් සහ ජලයෙන් යම් ආසනික් ප්‍රමාණයක් අවශෝෂණය කරයි. වගා කරන ලදදේ කාබනිකව ද නැද්ද යන්න හෝ ලංකාවේ ද නැද්ද යන්න මෙයට බලනොපායි. ඇත්ත වශයෙන්ම, සහල්වල ඇති ආසනික් අන්තර්ගතය ඇපල් වලට පවා වඩා වැඩි නමුත් ප්‍රායෝගිකව එය තවමත් පාරිභෝගිකයාට හානිකර නොවන මට්ටමේ අංශු මාත්‍රික ප්‍රමාණයකි.

ඉහත කතා දෙකේම ආරම්භයේ අතර කැපී පෙනෙන සමානකම් තිබුන ද ඒවායේ අවසානයන් එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. ඇපල් කතාව අවසන්වූයේ පසේ ඇති ආසනික පළිබඳව මනා අවබෝධයක් සමාජයට ලබාදී ඉක්මණින්ම කරුණු නිවැරදි කිරීම මගිනි. එහෙත් ලංකාවේ කතාව තුළ එම ව්‍යාජ ප්‍රකාශය නිවැරදි කිරීමට ප්‍රබල හඬක් හෝ උත්සාහයක් නොවීය. එම විවාද මණ්ඩලයේම සිටි ශ්‍රී ලාංකීය විද්වතුන් කිහිප දෙනෙක්ම පසෙහි ස්වභාවිකව ආසනික් පැවතීම පිටුපස ඇති භූ විද්‍යාත්මක සංසිද්ධීන් පැහැදිලි කිරීමට උත්සාහ කළද, ඔවුන්ගේ හඬ, අපේ පසෙහි ආසනික් තිබීම පිළිනොගන්නා වෙදැදුරුතුමාගේ හඬට යටපත්විය. සාමාන්‍යයෙන් මෙවන් අවස්ථාවකදී විවාදය මෙහෙයවන පුද්ගලයාගේ මැදිහත්වීමක් සිදුවිය යුතු වූවත් මෙම වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියාට එම තොරතුරු නිරාකරණය කිරීමට සමත් විද්‍යාත්මක පසුබිමක් තිබුණ බවක් නොපෙනුණි. මගේ වැටහීම අනුව, මෙම සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කිරීමට රටේ කෘෂිකාර්මික බලධාරීන් විසින් පසු-උත්සාහයක් ගෙන තිබුණේද නැත. අවසාන ප්‍රතිඵලය කුමක්ද? ඉතාමත් ව්‍යාකූලවූ හෝ සමහර විට නොමග ගිය ප්‍රේක්ෂක පිරිසකි. එපමණක් නොව මින් මගහැරීගියේ මිලියන ගණනාවක ජනකායකට මෙම මාතෘකාව පිළිබඳව නිසි ලෙස දැනුවත් කිරීමට තිබූ විරළ අවස්ථාවකි.

දැනුවත්භාවය හිඟ වූ සමාජයක් තුළ මිථ්‍යාවන් ප්‍රචාරය කිරීමට ඉතාමත් පහසුවේ. විද්වතුන් හෝ රජයේ බලධාරීන් හෝ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ඉටු කිරීමට අපොහොසත් වනවිට වැරදි මතයන්ට සහ වැරදි ප්‍රකාශයන්ට දීර්ඝායුෂ ලැබේ. මෙයට හොඳම උදාහරණ සමාජ මාධ්‍ය ජාලා වලින් පහසුවෙන් සොයාගත හැක. විශේෂයෙන් දැනට පවතින පොහොර මාතෘකාවට සම්බන්ධ විද්‍යාත්මක කරුණු සමච්චලයට ලක් කරන විවිධ සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල බහුළව හුවමාරුවේ. කාබනික පොහොර වෙනුවෙන් පෙනී සිටින්නන් මෙන්ම විරුද්ධවාදීන් විසින් ද එකසේ මිත්‍යාවන් ප්‍රචාරය කරනු ලැබේ. සමාජ මාධ්‍යවල මා දකින උපහාසාත්මකව ප්‍රකට (කුප්‍රකට යන්න වඩාත් ගැළපේ) ප්‍රශ්නයක් නම් “ඒ කියන්නේ වස චුට්ට්ක් විතර කෑවට කමක් නැහැ නේද?” යන්නයි. මෙම ප්‍රශ්නයෙන් උපහාසාත්මකව මතු කරන්නේ රසායනික පොහොර මත පදනම් වූ කෘෂිකර්මාන්තය අපට වස පෝෂණය කරන බවයි. මෙය සත්‍යය විකෘති කිරීමකි.

ඉහත ප්‍රශ්නයට සරළම වචනාර්ථ පිළිතුර “ඔව්” යන්නයි. එය විහිළුවක් ලෙස පෙනුන ද, සත්‍යය නම්, සාමාන්‍යයෙන් වස ලෙස ලේබල් කර ඇති රසායනික ද්‍රව්‍ය පවා පරිභෝජනය කරන ප්‍රමාණය යම් සීමාවක් ඉක්මවා යන තෙක් මිනිස් සිරුරට ඉන් හානියක් ඇති නොකරයි. විෂ බවට පත් නොවේ. සරළව කිවහොත් වඩාත් වැදගත් වන්නේ සාන්ද්‍රණයයි. සත්‍යය නම්, රසායනාගාර බීකරයක අධික සාන්ද්‍රණයකින් තිබෙන විට අපව බිය පත්කරවන ඇතැම් රසායනික ද්‍රව්‍ය දැනටමත් අපගේ ස්වභාවික පරිසරය තුළ (වාතය, ජලය, පස, ආහාර ආදිය) ස්වභාවිකවම සැරිසරන බවයි. නමුත් වෙනසකට ඇත්තේ එවන් ද්‍රව්‍ය අපගේ ස්වභාවික පරිසරය තුළ සාමාන්‍යයෙන් පවතින්නේ ඉතා අඩු සාන්ද්‍රණයකින් වීමයි. කළින් සඳහන් කළ පරිදි, දෛනික ආහාර වේලක ඇති බත් හෝ ඇපල් හරහා ආසනික් සිරුරට ඇතුළුවීම සාමාන්‍යයෙන් තර්ජනයක් නොවන්නේ එබැවිනි. නමුත් විශාල ප්‍රමාණවලින් පරිභෝජනය කරන්නේ නම්, ආසනික් මාරාන්තික විය හැකි බව නිසැකය. රසදිය තවත් උදාහරණයකි.

රසදිය වලින් නොයෙකුත් රෝගාබාධ ඇතිවිය හැකි බව බොහෝදෙනා දන්නා කරුණකි. නමුත් ලංකාවේ ජනප්‍රියම මාළු වර්ගයක්වූ බළයා ඇතුළු තවත් මාළු වර්ග රැසක රසදිය ඇත. ඉහත උදාහරණ සියල්ලෙන්ම පෙන්නුම් කෙරුණේ ස්වභාවික පරිසරයෙන් ලැබෙන, නමුත් සාපේක්ෂව ආරක්ෂිතව පරිභෝජනය කළහැකි ආහාරයි. නමුත් ස්වභාවිකව ලැබෙන සියළුම දේවල් සිරුරට හිතකර බව මෙයින් නිගමනය නොවේ. මෙයට හොඳම උදාහරණයක් වන්නේ ස්වභාවධර්මයෙන් අපට ලැබී ඇති හතු වර්ගයි. සිය ගණනාවක්වූ හතු වර්ග අතරින් අප අනුභව කරන්නේ කිහිප වර්ගයක් පමණි. ඒ අනෙක් හතු විෂ සහිත ඒවා බව අප හොඳින් දන්නා බැවිනි. භූගත ජලයේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් තවත් උදාහරණයකි. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මෙම ෆ්ලෝරයිඩ් වලින් කරදරයක් නැතත්, සමහර ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු මැද පළාතේ උග්‍ර දන්ත රෝග ගැටළු ඇති කර ඇති කිරීමට මෙම භූ ගත ජලයේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් වලට හැකිවී ඇත.

ස්වාභාවිකව ඇතිවූ හෝ පොහොර මගින් ඇතිවූ හෝ මොනයම් හේතුවක් නිසා අපගේ කෘෂිකාර්මික පසෙහි කිසියම් හානිකර ද්‍රව්‍යයක් අධික සාන්ද්‍රණයකින් තිබේ නම් එය අප ඉතා සැලකිලිමත් විය යුතු කාරණයකි. සැබෑ ප්‍රශ්නය වන්නේ හානිදායක ප්‍රමාණයක් ලෙසින් අර්ථ දැක්වෙන්නේ කුමන සාන්ද්‍රණයක්ද යන්නයි. මෙහිදී අපට උපකාර වන්නේ “උපරිම අවසරලත් සීමාව” යනුවෙන් හැඳින්වෙන විද්‍යාත්මක සංකල්පයයි (ඉංග්‍රීසි බසින් බොහෝවිට M.P.L ලෙස කෙටියෙන් හැඳිනවේ). මින් නිර්වචනය වන්නේ පසෙහි ඇති යම් හානිකර ද්‍රව්‍යයක් උපරිම අවසරලත් සීමාව (M.P.L) ඉක්මවූවිට එය අපට විස විය හැකි බවයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ උතුරු මැද පළාතේ සමහර ප්‍රදේශ වල භූගත ජලයේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් ප්‍රමාණය, ෆ්ලෝරයිඩ් සඳහා නියම කර ඇති එම්.පී.එල්. සීමාවන් ස්වභාවිකවම ඉක්මවා ගොස් ඇත. කිසියම් රටක් තමන්ගේම වූ උපරිම ආරක්ෂිත සාන්ද්‍රණය සීමාවන් දේශීය වශයෙන් අර්ථ දක්වා නොමැති නම්, ඔවුන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ/හෝ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සීමාවන් වෙත යොමු විය හැක. හානිකර ද්‍රව්‍යවල පැවත්ම සහ පැතිරීම පාලනය කිරීමට නම්, ඒවායේ සාන්ද්‍රණයන් කළකට වරක් පරීක්ෂා කර එම්.පී.එල්. සීමාවන්ට එරෙහිව සසඳා බැළිය යුතුය. මෙම එම්.පී.එල්. සංකල්පය කෘෂිකාර්මික පසට පමණක් සීමා වූවක් නොවේ. පාරිභාෂිතය එක් ක්ෂේත්‍රයකින් තවත් ක්ෂේත්‍රයට වෙනස් විය හැකි වුව ද, ආහාර, වාතය, ජලය සහ පිරිපහදු කළ අපජලය වැනි අනෙකුත් නොඑකුත් දේ සඳහා ද එම මූලධර්මයම යොදාගැනේ.

යම් දෙයක් පැහැදිලි කිරීමට යොදාගන්නා වැරදි යෙදුම්ද සමහර අවස්ථාවලදී මිත්‍යාවන් ප්‍රචලිත කිරීමට අනුග්‍රහය දක්වයි. කාබනික පොහොර ගැන උද්දාමයට පත් සමහර අය එය කාබනික කෘෂිකර්මාන්තය සමඟ පටලවාගෙන ඇති අයුරු පසුගිය දිනවල, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ, මම නිතර දැක ඇත්තෙමි. ඔවුන් කාබනික පොහොර කාබනික කෘෂිකර්මයට සම කරන්නේ ස්වයං-ව්‍යාකූලත්වයක් නිසාද නැතිනම් අතිශයෝක්තියට නැංවීමේ උත්සාහයක් නිසාදැයි මම නොදනිමි.

කෙසේ නමුදු මෙහි අනිසි අවසාන ප්‍රතිඵලයක් වන්නේ, මෙවැනි සටහන් සහ ප්‍රවෘත්ති අන්ධ ලෙස අනුගමනය කරන සමහර පිරිස්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීමෙන් ලංකාව මුළුමුණින්ම කාබනික කෘෂිකර්මාන්තයෙන් අගතැන්පත් රටක් බවට පත්වනු ඇතැයි විශ්වාස කිරීමට පටන් ගැනීමයි. කාබනික කෘෂිකර්මය, කාබනික පොහොරට සමාන නොවේ. අපට කාබනික කෘෂිකර්මාන්තයක් ළඟා කර ගත හැක්කේ සියලුම කෘෂිකාර්මික භාවිතයන් පාරිසරික හා ජීව විද්‍යාත්මක ක්‍රම මත පදනම් වූ ක්‍රමවේදයන්ට පරිවර්තනය වූ විට පමණි. කෘෂිකර්මාන්තය විශ්ව විද්‍යාලයකට සමාන නම් පොහොර යනු එහි එක් දෙපාර්තමේන්තුවක් පමණි. තනි දෙපාර්තමේන්තුවක් කාබනික සංකල්පයක් වැළඳ ගත් පමණින් මුළු විශ්වවිද්‍යාල සංස්කෘතියම එක රැයකින් කාබනික කළ නොහැක. කෘෂිකර්මාන්තයේ අනෙකුත් අංශ සඳහා වගකිව යුතු තවත් බොහෝ දෙපාර්තමේන්තු ඇති අතර, ඒවා තවමත් කාබනික නොවේ. පළිබෝධනාශක, වල්නාශක, සත්ත්ව වගාව යනාදිය මේ සඳහා උදාහරණ ස්වල්පයකි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදෙනවා දැකීමෙන් සතුටට පත්වන අය බොහෝ දෙනෙක්, දැනට භාවිතයේ පවතින පළිබෝධනාශක සහ වල්නාශකවල ඇත්තේද රසායනික ද්‍රව්‍යම බව පහසුවෙන් අමතක කරඇත. ප්‍රායෝගිකව ගැළපෙන හැකි තාක් දුරට කාබනික පොහොර ජනප්‍රිය කරවීම නිසැකවම ධනාත්මක පියවරකි. එහෙත් ගමනාන්තය කාබනික කෘෂිකර්මාන්තය නම් එය තවමත් දිගු ගමනක එක් පියවරක් පමණි.

කාබනික පොහොරවලට පක්‍ෂ වුවත් විරුද්ධ වුවත්, මිථ්‍යාව මත පදනම් වූ ප්‍රචාර හෝ ප්‍රතිචාර වලින් කාටවත් යහපත් සිදුනොවේ. මිථ්‍යාවන් විසින් ඇතිකරන අනවශ්‍ය ඝෝෂාවෙන් සිදුකරන්නේ අප සාකච්ඡා කළ යුතු සැබෑ ප්‍රශ්නවලින් අපගේ අවධානය සොරා ගැනීම පමණි. වැදගත් කරුණ නම් රසායනික පොහොරවලට හෝ කාබනික පොහොරවලට හෝ ද්වේශ කිරීමෙන්වත් සුදු හුනු ගෑමෙන්වත් රටට පලක් නැතිවීමයි. රසායනික පොහොරත් කාබනික පොහොරත් දෙකෙහිම හොඳත් නරකත් දෙකම ගැබ්වී තිබේ. වඩාත් වැදගත් වන්නේ මෙම විසඳුම් වලින් එකකින් හෝ දෙකෙන්ම හෝ ප්‍රයෝජන ගත හැකි ක්‍රමවේදයක් සකස්කර ගැනීමයි. රසායනික පොහොර, වල්නාශක සහ පළිබෝධනාශක භාවිතය වැළැක්විය නොහැකි නම්, ඒවා ඥානවන්තව භාවිතා කිරීමත්, අවශ්‍ය ස්ථානවල පමණක් යෙදීමත්, සහ විනාශකාරී ප්‍රතිඵළ අවම වන ආකාරයේ තිරසාර කෘෂිකර්මාන්තයක් ඇති කිරීමත් කෙරෙහි අවධානය යොමු විය යුතුය. අවසාන තීරණය කාබනික කෘෂිකර්මාන්තයක් නම්, කාබනික යෙදීම් ප්‍රායෝගික සහ දැරිය හැකි මිලක් ඇති තැනකට ගෙනඒම සඳහාත්, අස්වැන්නක් අඩුවීම හේතුවෙන් ඇතිවන ආර්ථික හානිය අවම කිරීම සඳහාත් නව්‍ය ගෘහස්ථ විසඳුම් සෙවීමේ වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඇත්ත වශයෙන්ම රටට වඩාත්ම ප්‍රතිලාභ ලැබිය හැකිය හැක්කේ, තනි-විසඳුම් ඒකාධිකාරයකින් නොව, කාබනික යෙදුම් සමඟ රසායනික යෙදවුම් සහජීවනය විය හැකි දෙමුහුන් විසඳුමකිනි.

මෙම ලිපිය ඇරඹුනේ අසත්‍ය කරුණු, නොමඟ යවන සුළු තොරතුරු, සහ මිථ්‍යාවන් ප්‍රචාරය කිරීමෙන් වන අයහපත පිළිබඳ කරුණු කිහිපයක් සමඟ බැවින්, එම ප්‍රවේශමෙන්ම මෙය අවසන් කිරීමද සාධාරණයැයි මම සිතමි. ඉක්මනින් විනාශ නොකළ මිථ්‍යාවන් සමාජගත වෙන්නේ සත්‍ය කරුණු වලටත් වඩා වැඩි වේගයකිනි. චේතනාන්විතව සිදුකළත්, අහඹුලෙස සිදුවණත්, මිථ්‍යාමත වලින් සමාජයට වන හානිය එකසේ දරුණුය. හිට්ලර්ගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රචාරක ඇමති, ගොබෙල්ස් වරක් කියා සිටියේ ඔබ එකම බොරුව නැවත නැවතත් කියන විට, එක් අවස්ථාවකදී මිනිසුන් එය සත්‍යයක් ලෙස පිළිගැනීමට පටන් ගන්නා බවයි. අතීතයේදී මෙන් නොව අද කාළයේ අපට ප්‍රවෘත්ති සහ දැනුම ලැබෙන්නේ පුවත්පත්, ගුවන්විදුලි, සහ රූපවාහිනී නාලිකා වලින්ම පමණක් නොවේ. මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු අන්තර්ජාලය ද ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍යයක් බවට පරිවර්තනය වී ඇත. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා සතු තොරතුරු ක්ෂණිකව බෙදාගැනීමේ සහ නැවත පළ කිරීමේ විකල්පයන්ට ස්තූතිවන්ත වන්නට එකම අන්තර්ගතය සිය වරක් වුව ද නැවත බැලීමේ හෝ පෙන්වීමේ බලයක් දැන් අපට ලබී ඇත. නමුත් තොරතුරු හුවමාරු කිරීමේ නිදහසට වටිනාකමක් ලැබෙන්නේ අපි සත්‍යය බෙදා ගන්නේ නම් පමණි. එසේ නොවන සැමවිටකම නොදැනුවත්ව හෝ අප කරන්නේ ගොබෙල්ස්ගේ න්‍යායට උදාහරණ සැපයීම පමණි.

මහාචාර්ය හිරෝෂාන් හෙට්ටිආරච්චි | Hiroshan Hettiarachch [එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ ජර්මනියේ-ඩ්‍රෙස්ඩන් ශාඛා මණ්ඩපයේ, අපද්‍රව්‍ය සම්පත් කළමනාකරණ ඒකකයේ, හිටපු ප්‍රධානී]

[මෙම ලිපියේ මුල් ඉංග්‍රීසි පිටපත 2021 නොවැම්බර් 23 වන දින groundviews.org වෙබ් අඩවියේ Smashing Fertilizer Myths නමින් ප්‍රකාශයට පත්කරන ලදී.]

What Do You Think ?

Leave a Reply