උතුරු මුහුදේ ධීවර සම්පතට “සීතල යුද්ධයක්”! විසඳුම කුමක් ද?

“දරුණු යුද්ධයකට මුහුණ දී, ජීවනෝපාය සරිකර ගත් දැල් ආම්පන්න බෝට්ටු සියල්ල විනාශ වෙලා, ජීවිතේ අලුතෙන් ම පටන් ගන්න සිද්ධ වෙච්ච අපට, කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන්නේ. තහනම් පන්න පාවිච්චියත් එමටයි. මේ තත්ත්වය අපේ රස්සාවට මරු පහරක්. අපේ ජීවිතවලට බලපෑමක්. උතුරේ අපිට එක නීතියක්, දකුණෙන් උතුරට එන අයට තව නීතියක්.”

මේ, ලක්‍ෂ එකහාමාරක පමණ සෘජු හා වක්‍ර, උතුරේ සුළුපන්න ධීවරයින් සහ යැපෙන්නන් මුහුණ දෙමින් සිටින යථාර්තය පිළිබඳව අසීස්, මරියරාසා ඇතුළු උතුරේ සුළුපන්න ධීවර නායකයින් කිහිප දෙනෙකු විසින් හෙළි කරනු ලැබූ එක් ප්‍රකාශයකි.

මෙම ප්‍රකාශය, නිකම්ම නිකම් වචන ගොන්නක්සේ පෙනුණි ද, යුද්ධයෙන් පසුව යළි පණගැසුනු උතුරු-දකුණු සංක්‍රමණික ධීවර ගමන, නොවිසඳෙන අර්බුදයක් පිළිඹිබු කරන අතර එය වඩාත් හොඳින් අධ්‍යනය කළ යුතු මෙන් ම විසඳුම් ලැබිය යුතු දැවැන්ත ගැටළුවක් බව පැහැදිළි වෙයි.

“යුද්දෙට ඉස්සරින් දකුණේ ධීවර පවුල් 27යි මුලතිව් ඇවිත් රස්සාව කෙරුවේ. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. සාමකාමිව අපි ඔක්කොම දෙනා හොඳින් රැකියාව කළා. ඒත් යුද්දෙ ඉවරවුනාට පස්සේ අපි හිතපු නැති විධියට දකුණේ කට්ටිය එන්න ගත්තා. අපට ඒක දරාගන්න අමාරු වුණා.” එසේ කියන්නේ මුලතිව් මුහුදේ සුළුපන්න ධීවර රැකියාවෙ යෙදෙන ඇන්තනි මරියරාසාය.

මරියරාසා ගේ කියමන සනාථ කරමින් මන්නාරම ප්‍රදේශයේ ධීවර නායකයෙකු වන අසීස් රහිම් ද කියා සිටියේ,

“ආරක්‍ෂක නිළධාරින්, රජයේ නිළධාරින්, ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරින් උතුරු මුහුදේ සැබෑ අයිතිකරුවන් වන අපිට සහයෝගය දෙනවා නොවෙයි, දකුණෙන් එන ධීවරයාට වාසි වෙන විධියට තමයි වැඩ කරන්නේ. පනත් තිබුණට වැඩක් නැහැ, තහනම් පන්න පාචිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. දකුණෙ කට්ටිය අපේ මාළු ටික ඔක්කොම අල්ලා ගන්නවා. අපිට ලැබෙන්නෙ සොච්චමයි.”

කල්පිටිය, පුත්තලම, හලාවත, වෙන්නප්පුව, මීගමුව, දූව සහ පිටිපන යන ප්‍රදේශවල බොහෝ ධීවරයින් වාරකං කාලය පැමිණි විට සිය බෝට්ටු දැල් ආම්පන්න රැගෙන උතුරේ මාළු බිම් කරා සංක්‍රමණය වන බව හලාවත බරුදැල්පොලින් උතුරේ මුලතිව් මුහුදේ පොඩි බෝට්ටු රස්සාවට යන 53 හැවිරිදි ලැරින් එම්මානුවෙල් පැහැදිළි කළේය.

ඒ අතර, සංක්‍රමණික ධීවරයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හලාවත “අයීතින් උදෙසා ධීවරයෝ” සංවිධානයේ සභාපති ප්‍රභාත් ප්‍රනාන්දු, සංක්‍රමණික ධීවරයින්ට මෙරට මුහුදේ මසුන් සුලභව සිටින ඕනෑම පෙදෙසකට යා හැකි බව කියා සිටියි.

“මුහුද අපි හැමෝගෙම පොදු සම්පතක්. ඒ වගේම දකුණෙන් උතුරට යන හැමෝම ධීවර දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන වාර්ෂික බලපත්‍රය අරගෙනයි ඒ ගමන යන්නේ.” යැයි වැඩිදුරටත් ඔහු කියා සිටියි.

ප්‍රභාත් ප්‍රනාන්දු යුද්ධය තිබියදීත් වරින් වර උතුරේ රස්සාවේ නිරත වු අයෙකි. යුධ සමයේ එවැන්නන් සිටියේ ස්වලපදෙනෙකි. එහෙත්, යුද්ධය නිමාවෙන් පසුව, ක්‍රමයෙන් වෙන්නප්පුව, හලාවත, පුත්තලම හා කල්පිටිය ඇතුළුව මීගමුව, පිටිපන සහ දූව යන ප්‍රදේශය වල ජීවත් වන සංක්‍රමණික ධීවරයින් පවුල් 1000 කට වඩා යුධ නිදහස උපරිමව භුක්ති විඳිමින් උතුරේ මත්ස්‍ය නිජ බිම් දඩයම් කරන්නට පටන් ගෙන ඇත. අපගේ අධ්‍යනයට බඳුන් වන ගැටළුවේ පදනම එයයි.

2015 සිට උතුරේ පාරම්පරික ධීවරයින්, සීමා රහිතව වර්ධනය වු මේ සංක්‍රමණික ධීවරයින්ගේ වර්ධනය වීමට සීමා පනවන්නැයි රජයෙන් ඉල්ලා ඇත. එහෙත්, දකුණෙන් උතුරට ධීවර සංක්‍රමණය තව තවත් වර්ධනය වූ වා මිස, සීමා නොවු බව ප්‍රභාත් පවසයි. ඒ අනුව, මේ අර්බුධය සම්බන්ධයෙන් වත්මන් ධීවර ආමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. එහි ප්‍රතිඵලය වුයේ දකුණෙන් උතුරුට පැමිණෙන ධීවර පවුල් ප්‍රමාණය 200කට සීමා කළ යුතු බවට ගත් තීන්දුවයි. එය එසේ වුව අදටත් මුලතිව් නායාරු වල පමණක් දකුණේ ධීවර පවුල් 300ක් පමණ ජීවත් වන බව ප්‍රභාත් පවසයි.

මොවුන් මෙතරම් උතුරේ මුහුදට ලෙන්ගතු ඇයිද යන්නත් දකුණේ ධිවර කර්මාන්තය ද අඩුපාඩු සහිතව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සංක්‍රමණික ධීවරයින්ගේ අයිතින් උදෙසා පෙනී සිටින ධීවර නායකයෙක් වන ප්‍රභාත් විසින් මෙසේ ඉඟිකරයි.

“උතුරේ වඩමාරච්චි, මුලතිව්, නායාරු, ත්‍රීකුණාමලය මුහුද කියන්නේ පුදුම සම්පතක්. ඇත්තට ම, දකුණේ ධීවරයින්ට කට්ට කාගෙන උතුරේ යන්න ඕනේ නැහැ, අපේ ප්‍රදේශවල හරිවිදියට රජයෙන් ධීවර රස්සාව පිළියෙළ කරල තියෙනවානම්. හලාවත, බරුදැල්පොල දකුණු ආසියාවේ විශාලතම ධීවර වරාය හදලා තියෙනවා තමයි, නමුත්, හලාවත අපට හලාවත මෝයෙන් ආරක්‍ෂා සහිතව බෝට්ටුවක් මුහුදට දාගන්න බැහැ.” යැයි ප්‍රකාශ කළ ප්‍රභාත් ඔවුන් උතුරේ ගොස් දඩයම් කරන්නේ දියඹේ ජීවත්වන කෙලවල්ලා, පියාමැස්සා වැනි සංක්‍රමණය වන මාළුන් පමණක් බවත් එයින් උතුරේ සුළුපන්න ධීවරයාට ප්‍රශ්නයක් නොවන බවත් ප්‍රකාශ කළාය.

සංක්‍රමණික ධීවර නායකයෙකු එසේ ප්‍රකාශ කළමුත්, එකී සංක්‍රමණ රැකියාවෙන් බැට කන උතුරේ සුළුපන්න ධීවරයින් කියන්නේ ඊට හාත්පස වෙනත් කථාවකි.

“මහ මුහුදට ගොඩබැස්සට පස්සේ එහෙම තෝරන්නේ කොහොමද, තහනම් පන්නත් භාවිතා කරල තමයි දකුණෙන් එන ධීවරයෝ මුළු මුහුදම පරිහරනය කරන්නේ.” යන්න මන්නාරම, මුලතිව්, ත්‍රීකුණාමලයේ පාරම්පරික සුළුපන්න ධීවරයින් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළ අදහසයි.

මුහුද පොදු සම්පතක් කියමින් දකුණේ ධීවරයා රට වටේම මත්ස්‍ය දඩයමේ නිරත වුවද, උතුරේ ධීවරයින් ඔවුන් භාවිතා කරන පන්න ක්‍රමවලට අනුව කිසිම විටෙක දකුණේ ධීවර බිම් ආක්‍රමණය නොකරන බවත්, දකුණේ ධීවරයින් ඔවුන්ට ආරාධනා නොකරන බවත් ඔව්හු පවසති. මේ ප්‍රකාශ ගැඹුරින් අධ්‍යනය කරන විට පෙනෙන්නේ කිසිවෙකුගේ අවධානයෙන් තොරව උතුරු මුහුදේ ධීවර සම්පත ආශ්‍රිතව සීරුවෙන් ගොඩනැගෙන සීතල යුද්ධයකි.

“අපි කවදාවත් දකුණේ මුහුදට ගිහිං රස්සාව කරන්නෙ නැහැ. දකුණේ කට්ටිය ඒ ගොලන්ගේ පලාතෙන් අනිවාර්යෙන් ම රස්සාව කරලා උපයා ගන්නවා, වාරකමෙත් අපේ ප්‍රදේශ වලට සංක්‍රමණය වෙලා රස්සාව කරලා උපයා ගන්නවා. අවුරුද්ද පුරා ම හම්බ කරනවා. නමුත් අපිට රස්සාව කරන්න ලැබෙන්නේ මාස 06 ක් පමණයි. ඒ කෙනුත් විවිධ ස්වභාවික හේතු සුළං කුණාටු , මුහුද සැරවිම වගේම ධීවරයා මුහුණ දෙන විවිධ හදිසි අවස්ථාවන් නිසා අපිට රැකියා කරන්න වෙන්නේ වසරකට දවස් 120ක් වගේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයවත් අපේ ධිවරයින්ට නිදහසේ නිසි විධියට කරගන්න නොලැබීම කෙතරම් අසාධාරණයක් දැයි මන්නාරම් දිස්ත්‍රික්ක ධීවර සම්මේලනයේ ලේඛම් අසීස් රහිම් ප්‍රශ්නයක් නැඟුවේය.

“ඒ ගොල්ල මුහුදේ ඉන්නකොට අපිට දැල් එලන්න බැහැ. අපි කලින් ගිහින් දැල් එලලා තිබ්බොත් අපේ දැල් වලට උඩින් ඒගොල්ල දැල් එලනවා. අපි එයාලා භාවිතා කරන දැල් පාවිච්චි කරන්නේ නැහැ. අපේ දැල් කැපිල කැඩිල යන අවස්ථාවන් එමටයි. අලාභ හානි එමටයි. අපේ මිනිස්සුන්ට රස්සාව කරන්න නිදහසක් නැහැ. ජීවත් වෙන්න අවශ්‍ය නිසා සමහර ධීවරයෝ දකුණේ අයගේ බෝට්ටුවල කුලි වැඩට යනවා. මේක එච්චර සුභ කටයුත්තක් නෙවෙයි.”

යැයි රහීම් පැවසුවේ සංක්‍රමණය වන දකුණේ ධීවරයින්ගේ සංඛ්‍යාව උතුරට දරාගත නොහැකි බව ඉඟි කරමිනි.

උතුරු පළාතට අයත් මන්නාරම් දිස්ත්‍රික්කයේ සිලාවතුර, අරිප්පු, සවුත්බාර්, තෙලෙයිමන්නාරම වැනි මුහුදු ප්‍රදේශවලට වැඩි වශයෙන් සංක්‍රමණික ධිවරයින් පැමිණෙන්නේ මීගමුව, හලාවත, වෙන්නප්පුව යන ප්‍රදේශවලින් බව සඳහන් කළ අසීස් රහීම්, දකුණෙන් පැමිණෙන ධිවරයින්ට අයත් බෝට්ටු 500 කට වඩා මන්නාරම් මුහුදු වෙරළ පුරාවට නවතා තිබෙන බව කීවේය. එබැවින් මන්නාරම් ධීවරයින්ගේ බෝට්ටු නවතා තැබීමට ඉඩ නොලැබෙන බවත් එම නිසා ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇතිවන බවත් ඔහු පැහැදිළි කළේය.

අසීස් රහීම් ගේ මෙකි ප්‍රකාශයෙන් ගම්‍යවන්නේ මුහුද පොදු සම්පතක් ය යන්න දඩමීමා කරගෙන දකුණේ ධිවරයා විසින් අනෙකාගේ රැකියා කිරීමේ අයිතිවාසිකම් පිළිබඳව කිසි තැකීමකින් තොරව ඔවුනට රිසිසේ මුහුදු සම්පත අවභාවිතාවේ යෙදවීමකි.

ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අසීස් රහීම් පවසන්නේ “හැම වසරේම ඔක්තෝබර් මාසේ මන්නාරමට ළඟාවෙන දකුණේ ධීවරයා ඊළඟ වසරේ අප්‍රේල්, මැයි දක්වා ම රස්සාව කරනවා. මුහුද අපේ ප්‍රදේශවල තිබුණට, උතුරේ ධීවරයාට වඩා, උතුරු මුහුද භුක්ති විඳින්නේ දකුණේ ධීවරයා. වෙනස් වන වෙලාවල් වල දී රස්සාව කරන්න මුහුද ට ගොඩ බැස්සත් ඉන් ලැබෙන සොච්චම ගැන අපේ ධීවරයින්ට කිසි සේත්ම සෑහිමකට පත්වන්නට බැහැ.”

අසීස් රහීම් ඉඟි කළ තවත් බැරැරුම් කාරණාවක් වන්නේ සීලාවතුර ප්‍රදේශයට පැමිණෙන ඇතැම් සංක්‍රමණික ධීවරයින් යළි ආපසු නොගොස් ඒ ප්‍රදේශයේ ම පදිංචි විමට ගන්නා උත්සාහයයි. මින් පෙර එවැනි වාතාවරණයක් තුළ සිංහල ගම්මානයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් වළක්වාගත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

දිගු කාලීනව පැවති සිවිල් යුද්ධයෙන් පසුව අධික ලෙස දකුණේ ධීවරයින් උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයේ සිට පේදුරුතුඩුව, නායාරු, මුලතිව්, කුකුලාව, කෝකිලායි, කිළිනොච්චි, ත්‍රීකුණාමලය, නිලාවේලි, සරප්පයාරු, කුඹුරුපිටිය, කල්මුණේ, ඔළුවිල්, අම්පාර යනාදි උතුරු නැගෙන මුහුදු ප්‍රදේශ ආක්‍රමණය කරන බව උතුරේ ධීවරයා ප්‍රකාශ කරනවා සේම සංක්‍රමණික ධීවරයා විසින් ද එය ප්‍රතික්‍ෂේප කරන්නේ නැත.

ඇත්තෙන් ම දකුණේ ධිවරයින් මෙසේ උතුරුට ම සංක්‍රමණය වන්නේ ඇයි යන ප්‍රශ්නය විමසා බැලීමේදි, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සූසේයි ආනන්ද විසින් සිදුකර ඇති අධ්‍යන වාර්තාවලට මෙන් ම උතුරේ ධීවරයින්ට ද අනුව, “ස්වභාවයෙන් ම, උතුරු කළාපීය මුහුදේ මත්ස්‍යයින් ගේ ජනනය සිදුවන මත්ස්‍ය බැංකු අධික ලෙස පිහිටා ඇති බවත් එම හේතුවෙන් නිරන්තරයෙන් ම බෝවන මත්ස්‍යයින් කළාපය තුළ සංක්‍රමණය වන බවත් එබැවින් සංක්‍රමණික ධිවරයින් වඩාත් උතුරට පැමිණෙන බවත් ය.”

මෙසේ උතුරට සංක්‍රමණය වන වත්මන් ධීවරයින් එදා මෙන් නොව, ඔවුන් අල්ලා ගන්නා මාළු ඔවුන් විසින් ම අලෙවි කිරීම හා කරවල දැමීම යනාදිය සියලූ ගනුදෙණු සිදුකරයි. එබැවින් උතුරේ සුළුපන්න ධීවරයින් ගේ ආදායම සැළකිය යුතු මට්ටමකින් වර්ථමානයේ දි දුර්වල වී ඇති බවත් රහීම් කීවේය.

මෙය දශක ගණනකට පෙර තිබු තත්ත්වයට සපුරා වෙනස්ය. එකල දකුණෙන් පැමිණි ධිවරයා, උතුරේ ධීවරයා සමඟ සහජීවනයෙන් කටයුතු කළ අයුරු අදටත් උතුරේ ධීවරයෝ ආස්වාදයෙන් සිහිපත් කරති.

“කිසිසේත්ම අපි ගැටුම්වලට කැමති නැහැ. ඒ නිසා ධීවර දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ධීවර ලේකම්වරයා එක්ක සාකච්ඡා කරලා කලින් හිටිය දකුණේ ධීවර පවුල් 27 වෙනුවට පවුල් 52 දෙකකට ඉඩ ලබාදුන්නා. නමුත් එයාලා ඒ ගැන සෑහිමකට පත්වුණේ නැහැ. පස්සේ පවුල් 72 කට අපි එකඟ වුනා. නමුත් ඔවුන් අපේ හොඳ හිත අයුතු විධියට අරගෙන බෝට්ටු 100ක් 200ක් දාලා රස්සාව කළා.”

යැයි දිගු කථාවක ආරම්භයක් සිදුකළේ මුලතිව් දිස්ත‍්‍රික්කයේ ධිවර සමුපකාර සමිති මව් සංගමයේ හිටපු සභාපති ඇන්තනි මරියරාසා ය.

වර්ථමානය වන විට මුලතිව් දිස්ත්‍රික්කය තුළ පමණක් දකුණේන් පැමිණෙන 500කට ආසන්න බෝට්ටු සංඛ්‍යාවක්, විශාල පිරිසක් සමඟ රස්සාව සිදුකරන බවත්, එබැවින් දේශීය ධීවරයෝ තමන්ගේ බෝට්ටු නවත්වන්න ඉඩක් නොමැතිව බලා සිටින්නට සිදුවී ඇතැයි මරියරාසා කීවේය.

“මේ නිසා අපිට රැකියාව කරගන්න විශාල බලපෑමක් එල්ලවෙලා තියෙනවා. සංක්‍රමණික ධීවරයෝ වැඩිවශයෙන් තහනම් පන්න පාවිච්චි කරලා තමා ඔවුන්ගේ රස්සාව කරන්නේ. මොවුන් නිසා, පැරණි විධියට අපිට හරියට රස්සාව කරගන්න ඉඩක් නැහැ. අපේ ධීවරයින්ගේ ආර්ථීකය බැහැලා. අපේ රැකියාව කිරීමේ අයිතිය නැතිනම් අපේ ධීවර උරුමය අහිමිවෙලා. පොදුවේ ගත්තම උතුරට අයත් මුහුද, සම්පත් සියල්ලම උතුරේ පාරම්පරික ධීවරයාට වඩා අයිති වෙලා තිබෙන්නේ, ඔක්කොම වගේ භුක්ති විඳින්නේ සංක්‍රමණික ධිවරයායි. ඔවුන්ගේ පන්න ක්‍රම නිසා උතුරේ මුහුදේ සම්පත් ක්‍ෂ්යවීමකුත් සිදුවෙනවා.” යැයි ඇන්තනි මරියරාසා සඳහන් කළේ කළකිරිමකින් ද යුතුවය.

එමෙන්ම, වඩමාරච්චි ප්‍රදේශය තුළ සිදුකෙරෙන සංක්‍රමණික ධිවර රැකියාව සම්බන්ධයෙන් අදහස් පළ කළ පාරම්පරික ධීවරයෙකු වන එස්. ශිවනේෂන් කියා සිටියේ වෙන්නප්පුව, හලාවත, පුත්තලම සහ කල්පිටිය යන ප්‍රදේශවලට අමතරව, මන්නාරම සහ ත්‍රීකුණාමලයේ සිට ද සංක්‍රමණික ධීවරයා පැමිණෙන බවත් වර්ථමානය වන විට ධීවර බෝට්ටු 1500ක් පමණ රැකියාවේ යෙදවෙන බවත් ය.

එස්. ශිවනේෂන් ගේ එකී කියමන තුළ උතුරේ සුළු ධීවරයා ගේ උන්නතියටත් පොදුවේ උතුරේ ධීවර කර්මාන්තයටත් සිදුවන අගතිය කොතෙක් ද යන්න ඔහු ගේ මේ අත්දැකීමෙන් ද වඩාත් තීව්ර වෙයි. “මුදු කුඩැල්ලන්ගේ මළපහ ආහාරයට අරගෙන තමයි මේ පළාතට ආවේනික මාළු බොහෝමයක් වැඩෙන්නේ. ඒ නිසා අපි තීන්දුවක් අරගෙන තිබුණා මොනම හේතුවක් නිසාවත් අපි මූදූ කූඩැල්ලෝ අල්ලන්නේ නැහැ කියලා. නමුත් කණගාටුයි, දකුණේ කට්ටියට මුදු කුඩැල්ලන් දඩයම් කරන්න අනුමැතිය දීලා තියෙනවා. ඒ හයිය අරගෙන ඒගොල්ල පුංචිම සතාගේ ඉඳලා මුදු කූඩැල්ලන්ව අල්ලගෙන යනවා. ඒක වඩමාරච්චි ධීවරයාගේ රස්සාවට මරු පහරක්.”

එමෙන්ම, අධික බෝට්ටු ප්‍රමාණයක රැකියාවට අවසර ලැබීමත් එකී ඇතැම් බෝට්ටු අශ්වබල 40ක ධාරිතාවයකින් යුක්ත වීම නිසා පිටකරන අධික ශබ්ධය හේතුවෙන් මුහුදු ජලයේ කැළඹීමත් සමඟ මත්ස්‍යයින් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් අඩු මත්ස්‍ය අස්වැන්නක් ලැබීමත් එකී බෝට්ටු විසින් තමන් ගේ ධීවරයින් එලා තිබෙන දැල් වලට හානි පමුණුවමින් රැකියාවේ යෙදීමත් නිසා ප්‍රාදේශිය සුළුපන්න ධිවරයා ආර්ථීක වශයෙන් දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින අතර මේ හේතු මත ඔවුන්ට දෛනිකව රුපියල් 5000.00 ක පමණ ආර්ථීක පාඩුවක් දරන්නට සිදුවන බව එස්. ශිවනේෂන් පැහැදිළි කළේය.

එමෙන්ම, මිනිස් ශ්‍රමය පමණක් යොදාගනිමින් කරනු ලබන මාදැල් පන්නය, සංක්‍රමණික ධීවරයින් විසින් ට්‍රැක්ටර් යොදාගනිමින් උතුරු මුහුදේ දියත් කිරීම වර්ථමානයේ දී ඉතාම ජනප්‍රිය මෙන් ම විනාශකාරි පන්න ක්‍රමයක් බවට පත්වී ඇත. වර්ථමානයේ දී උතුරු මුහුදු ප්‍රදේශවල 50 කට අධික මෙකී ට්‍රැක්ටර් පන්නය ක්‍රියාත්මක වන බවත් දැන් දැන් දමිළ ධීවරයින් ද වෙනත් විකල්පයක් නොමැති බැවින් ට්‍රැක්ටර් පන්නය භාවිතා කිරීමට පෙළඹී ඇතැයි ශිවනේෂ්න් කීවේය.

දකුණේ මුහුද සැරවන කාලසීමාවේදී එනම් වාරකං කාලයේදී දකුණේ සිට උතුරට සංක්‍රමණය වන ධීවරයා විසින් 90% පමණ ඩයිනමයිට්, සුරුක්කු දැල්, තංගුස් දැල්, ලයිට්කෝස් යනාදි ශ්‍රී ලංකා ආණ්ඩුවේ ‘අංක 02 දරණ ගැසට් පත්‍රිකාව’ මගින් 1996 වසරේදී ‘තහනම් පන්න’ ලෙසට ප්‍රසිද්ධ කළ ධීවර පන්න ක්‍රම භාවිතා කරන බව උතුරේ බහුතර ධීවරයින් පෙන්වා දෙති. තහනම්කර ඇති මෙකී පන්න ක්‍රම උතුරු මුහුදේ කිසිඳු චකිතයක් නොමැතිව භාවිතා කරන්නේ ධීවර බලධාරින්ගේ සහ මුහුදේ ආරක්‍ෂක කටයුතු භාරව සිටින නාවික හමුදා සහ යුධ හමුදා නිළධාරින්ගේ සම්පූර්ණ දැනුවත් භාවයෙන් යුතුව ය යන්න අසීස් රහීමි මෙන් ම ඇන්තනි මරියරාසා ද කියා සිටියේ, මෙය, සමස්ත උතුරේ ධීවරයින් අත්දකිමින් සිටින කටුක යථාර්ථය බව යැයි අවධාරණය කරමිනි.

මේ අතර, මුලතිව්, කෝකිලායි හි කළපු ධීවර රැකියාවේ නිරත කාන්තාවක් වන 70 වියැති තුලසිමනී ශීවපාක්කියම් ද සංක්‍රමණ ධීවර රැකියාව තුළ උතුරේ ධීවරයා මුහුණ දෙන කෙනෙහිලිකම් සියල්ල සනාථ කරමින් මෙසේ කීවේය. “මේ වෙනකොට කෝකිලායි ධීවරයින් කිහිප දෙනෙක් ම මේ විදියට රස්සාව කරන්න අමාරු නිසා, කොළඹ ගිහිං කුලී වැඩ කරනවා.”

එපමණක් නොව, ඇය හෙළිකළ තවත් කාරණයක් වුයේ සංක්‍රමණික ධීවර රැකියා ක්‍රමය නිසා කෝකිලායි දූපත ද මත් රකුසා ගිලගෙන ඇති බවයි. “මේක, සංක්‍රමණික ධීවරයෝ නිසා දූපතට ආපු අලූත් අයහපත් දායාදයක්.” යැයි ඇය සංවේගයෙන් යුතුව ප්‍රකාශ කළේය.

යුද්ධයෙන් පසුව ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගොස් රැකියාව කිරීමට ලැබී ඇති නිදහස අවභාවිතා කරන ආකාරයක් මෙහිදි පැහැදිළිව දක්නට ලැබේ.

දැනට ක්‍රියාත්මක වන සංක්‍රමණික රැකියා කිරීමට ලබා දී ඇති නිදහස හෝ අනුමැතිය විධිමත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ද ,මෙයින් පැහැදිළිව පෙනේ. ඒ සඳහා වැදගත් නියාමනයක් අවශ්‍යව ඇත.

උතුරේ මන්නාරම් දිස්ත්‍රික්කයේ සිට මුලතිව් සහ නැගෙනහිර ඔළුවිල් දක්වා ධීවර දිස්ත්‍රික්කවල විසඳුම් රහිතව දැඩිව ව්‍යාප්තව පවතින සංක්‍රමණික ධීවර අර්බුධය විසඳා ගැනීමට වසර ගණනාවක් තුළ විවිධ අවස්ථාවලදී, විවිධ නිළධාරින් සහ කණ්ඩායම් සමඟ සාකච්ඡා වාර ගණනාවක් පැවැත්වුව ද උද්ඝෝෂණ පවත්වා විරෝධතා දැක්වුව ද කිසිඳු ප්‍රතිඵලයක් නොලැබුණු බව උතුරේ ධීවරයෝ පවසන්නේ එබැවිනි.

එම උත්සාහයයන් නිෂ්පල වී ඇත්තේ, යුද්ධයෙන් පසුව, සංක්‍රමණික ධිවර රැකියාවේ යෙදෙන්නට අවැසි අනුමැතිය ධීවර දෙපාර්තමේන්තුවේ ජෙනරාල්වරයා විසින් ම ලබාදීම නිසා බව ඉතාම පැහැදිළිව නිරක්‍ෂනය කළහැකි වේ. ධීවරයින් අතර මෙන්ම කර්මාන්තය තුළ ද අර්බුද ඇතිවන්නට ප්‍රධාන ම හේතුව, රජයෙන් ලබාදෙන එම අනුමැතිය විධිමත් නොවන බව දැන් මනාව පැහැදිළිය.

සිය ජනතාවට උපන් බිමේ සිට පාරම්පරික රැකියාව කිරීමට එල්ල වී ඇති මෙම සංක්‍රමණික ධිවර රැකියා ක්‍රමය සහ තහනම් පන්න භාවිතාව, කෝකිලායි හී කිතුණු පුජක ගරු ඔගස්ටින් කැනීෂියස් පියතුමා දැඩිව විවේචනය කළේය. සංක්‍රමණික ධිවර රැකියාව අත්‍යවශ්‍ය ම කාරණාවක් වන්නේ නම්, දේශිය ධීවරයා සුරැකෙන ලෙස ට දැනට පවතින විෂම තත්ත්වය වෙනස් විය යුතු යැයි පියතුමා කීහ.

උතුරේ ධිවර නායක අසීස් රහීම් ට අනුව, ධීවරයා හෝ ධීවර වෘත්තිය ජාති, භාෂා පළාත් අනුව බෙදා වෙන් නොකර ධිවරයින් අතර සාමය පැවතිය යුතු බවත් පාරම්පරික ධීවරයින්ගේ නිජබිම් උරුමය ආරක්‍ෂවන පරිදි ධීවර වෘත්තිය ආරක්‍ෂා විය යුතු බවත්, පවත්වාගෙන යා යුතු බවත්ය. නිසි සැළසුමක් ඔස්සේ, නිසි පරිදි සෑම ධීවරයාට ම එකම නීතිය ක්‍රියාත්මක කරමින් රජය විසින් මෙම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරන්නේ නම් ජාතීන් අතර සාමය ද ආරක්‍ෂා වනවා සේම ධීවර වෘත්තිය ද රැකෙනු ඇති බවයි.

සංක්‍රමණික ධීවර රැකියාව ගැටළුවක් ලෙසට වර්ධනය වන ආකාරයෙන් පෙනී යන්නේ ජාතීන් අතර සාමය පලුඳු කෙරෙන ජනවාර්ගීක ගැටළුවේම දිගුවක් ලෙසට මෙය ඉදිරියට යාමේ අවධානමක් ඇති බව ජාතික ධිවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මෙන්ම, ලෝක ධීවර ජනතා සම්මේලනයේ නිත්‍ය නියෝජිත හර්මන් කුමාර පවසන්නේ එබැවිනි. මෙසේ උඩුදුවන මෙම අර්බුදය විසඳාගත හැක්කේ අන්‍යයෝන්‍ය සුහද තාවයෙන්, සහෝදරත්වයෙන් හා පනවා ඇති නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරවීමෙන් පමණක් බව වැඩිදුරටත් ඔහු පවසයි.

ඉහත සියලූ කරුණු අනුව පැහැදිළි වන්නේ මෙය සාමකාමී රැකියාවක් ලෙසට දශක ගණනාවක් ව්‍යාප්තව පැමිණිය ද, වර්ථමානයේදි සීතල යුද්ධයක් බවට පරිවර්ථනය වී ඇති බවයි. එබැවින්, දැන්වත් වගකිව යුත්තන්ගේ අවධානය මේ කෙරෙහි නිසි ලෙස යොමු නොවන්නේ නම්, මෙකී ගැටළුව ධීවර කර්මාන්තයේ සීමාව ඉක්මවා, දිගු කාලීනව පැවැති වාර්ගීක ගැටලුවේ තවත් භයානක දිගුවක් බවට වර්ධනය වීමේ අවධානමක් ඇති බව ද කිව හැකිය.

මෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera

What Do You Think ?

Leave a Reply