කොරෝනා බිහිසුණු විකෘතිය ඔමික්‍රොන් ගැන විස්තර

covid19-omicron

මුලින්ම, වයිරසයක ස්වභාවය සරලව අවබෝධ කර ගනිමු. වයිරසයක් යනු පණ ඇති දෙයකි. වයිරසයක් අප මනුෂ්‍යයන්ට ආසාදනය වූ විට එහි අරමුණ වන්නේ, අප සිරුර තුළ එහි පිටපත් නිර්මාණය කර ගනිමින් ජීවත් වීමය. වයිරසයේ ඉලක්කය එහි. පැවැත්ම රඳවා ගැනීමය.  ස්වභාවිකව හෝ එනත් මගින් හෝ ඖෂධ මගින් අපට ලැබෙන ප්‍රතිශක්තිය වයිරසයට බාධාවකි. එම ප්‍රතිශක්තිය, වයිරසය අඩපණ කරයි. එහෙයින්, එයින් බේරීමටත් පැවැත්ම රඳා පවත්වා ගැනීමටත් වයිරසය වෙනස් වෙයි. ගති ලක්ෂණ වෙනස් කර ගනී. මාතා වයිරසයට වඩා දරු පරම්පරාව වෙනස් වෙයි. වයිරසය විකෘති වී නව ප්‍රභේද නිර්මාණය කරනවා යනු මෙයයි. වයිරසයේ අවසන් අරමුණ නැතිනම් ඉලක්කය, එය ආසාදනය වන තැනැත්තාට මැරෙන්න නොදී එම තැනැත්තා හැකිතාත් ජීවත්කරගෙන, වයිරසයද  බෙදී වෙන් වෙමින් සිය ගහණය වැඩි කර ගැනීමය. ආසාදනය වන සියලු දෙනා මියගියොත් එය වයිරසයට අවාසියකි. හේතුව, වයිරසය ද ඒ සමග මියයන බැවිනි.

කොරෝනා නමැති වයිරස පවුලට අයත්, කොවිඩ් 19″. නමැති, අපට හිසරදයක් වුණු වයිරසයේ කතාව ද මෙයයි. ‘කොරෝනා’ යනු සතුන්ගෙන් මනුෂ්‍ය අපට ආසාදනය වී, අප අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. ‘කොරෝනා’ යනු ඔටුන්න යන අර්ථයයි. මෙම වයිරසයේ ස්වරූපය උල් කුරු සහිත ඔටුන්නක් වැනිය. සුලමුල නොදන්නා ‘කොවිඩ් 19″ කොරෝනා පවුලේ නවතම සාමාජිකයාය. ‘කොවිඩ් 19 මාතෘ වයිරසය විකෘති වෙද්දී, ඔටුන්න ආකාරයේ ස්වරූපය එලෙසින්ම පවතින නමුත්, ගති ලක්ෂණ  වෙනස්කම්වලට ලක් වෙයි. අප එන්නත් නිපදවද්දී වයිරසය තවත් විකෘති වෙයි. වයිරසයක ස්වභාවය  මෙයයි. මේ වනතුරු ‘කෝවිඩ් 19″ වයිරසයේ බිහිසුණු විකෘති ලෙස විකෘති 4 ක් හඳුනාන්ගෙන තිබුණි. ග්‍රීක හෝඩියේ නම්වලින් නම් කෙරුණු එවා ‘ඇල්ෆා’, ‘බීටා’, ‘ගැමා’ සහ ‘ඩෙල්ටා’ ය. මේ   අතරින් ද දරුණුම සහ   වේගයෙන් බෝ වෙන විකෘති  ප්‍රභේදය ඉන්දියාවෙන් බිහිවුණු ‘ඩෙල්ටා’ ය.

අද වනවිට තවත් බිහිසුණු විකෘතියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.  මෙම නව විකෘතිය විමසිල්ලෙන් පසුවිය යුතු අවධානය යොමු  කළ යුතු කොවිඩ් 19 විකෘති වයිරස අතරට එක් කර තිබේ. ‘බී 1.1.529″ යනුවෙන් පළමුවෙන් නම් කළ මෙම විකෘතිය, ග්‍රීක  හෝඩියට අනුව නම් කර ඇත්තේ ‘ඔමික්‍රොන්’ යනුවෙනි. මෙය ‘ඩෙල්ටා  විකෘතියට වඩා  10 ගුණයකින් ප්‍රබලය. “ඔමික්‍රොන්” යනු එන්නත්වලින් මට්ට කළ නොහැකි, යළි යළි ආසාදනය වන, පී.සී.ආර්. පරීක්ෂණ මඟ හැරීමට සමත්  විකෘතියක් බව ද පැවැසෙයි. “ඔමික්‍රොන් විකෘතිය බිහිසුණු වන්නේ, ‘ඇල්ෆා’, ‘බීටා’, ගැමා’ සහ ‘ඩෙල්ටා’ යන විකෘති හතරේ ගති ලක්ෂණ ඊට ඇතුළත් වීමය. ඊට අමතරව, විද්‍යාඥයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ගති ලක්ෂණ ද ඊට ඇතුළත් වෙයි. වයිරසයේ ස්පයික් ප්‍රෝටීනයේ (ඔටුන්න වැනි කොටස) පමණක් ඇති විකෘති ගණන 32කට වැඩිය. ඊට අමතරව සමස්ත වයිරසයේ ඇති විකෘති ප්‍රභේද ගණන 50කට වැඩිය.

‘ඔමික්‍රොන්’ විකෘතියට ඇතුළත් විකෘති දෙකක් වන්නේ  P68TH සහ N679K ය. මෙම විකෘති දෙක එකට හමුවුණු  පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පවසති. එන්නන්වලට ප්‍රතිරෝධයක් දක්වන විකෘති ලෙස P68H සහ N679K මීට පෙර සිටම හඳුනාගෙන තිබුණි.   H655Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රෝන්’ විකෘතියට ඇතුළත්ය. වයිරසයට ඉතා පහසුවෙන් අපේ සිරුරේ   සෛලවලට රිංගා ගැනීමට H655Yඋපකාරී වෙයි. N5O1Y නමැති විකෘතිය ද ‘ඔමික්‍රොන්” තුළ ඇත. විද්‍යාඥයන්ට N5O1Yවිකෘතිය මුලින්ම හමුවී ඇත්තේ ‘ඇල්ෆා’ සහ ‘බේටා විකෘතිවලිනි. (ඇල්ෆා යනු එංගලන්තයේ කෙන්ට් පළාතෙන් මුලින්ම හමුවුණු ‘කෝවිඩ් 19′ විකෘතිය වන අතර ‘බීටා’ යනු මුලින්ම දකුණු අප්‍රිකාවෙන් හමුවුණු  විකෘතියයි.) N5OTY විකෘතියෙන් සිදුවන්නේ වයිරසය ව්‍යාප්ත වීම වේගවත් කිරීම යැයි පැවැසෙයි.  R2O3K සහ G2O4R යනුවෙන් හැඳින්වෙන වයිරස විකෘතිද ඔමික්‍රොන් විකෘතිය තුළ අඩංගු වෙයි.

“ඔමික්‍රෝන්’ විකෘතිය ආසාදනය වන ප්‍රමාණය වැඩි කරන්නේ මෙම විකෘති දෙකය. ‘ඩෙල්ටා විකෘතියට පමණක් ආවේණික N44OK නමැති විකෘතියත්, බේටා’ විකෘතියට පමණක් ආවේණික K417N සහ E484A යන  විකෘති දෙකත්, ඇමෙරිකාවේ නිව්යොක් නුවරින් පළමුවෙන් සොයා ගත් ‘නිව්යොක්’ නමැති විකෘතියට ආවේණික S477N විකෘතියත් ‘ඔමික්‍රෝන්’ තුළින් හමුවී ඇත.   කෙසේ නමුත් සෙසු වයිරස විකෘතිවල ඇති, ව්‍යාප්තිය වේගවත් කරන විකෘතියක් ලෙස සැලකෙන NSP6 නමැති විකෘතිය ‘ඔමික්‍රෝන්” විකෘතියේ නොමැති බව පැවැසෙයි. G446S, T478K, Q493K, G496S, Q498R සහ Y5O5H යනු මේ වනවිට ‘ඔමික්‍රෝන් විකෘතියෙන් පමණක් සොයා ගත් විකෘති වයිරස වන අතර, මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ‘ඔමික්‍රෝන් සම්බන්ධයෙන් ඉදිරි සති හතර ඇතුළත පූර්ණ සවිස්තරාත්මක වාර්තාවක් එළිදැක්වීමට තමන්  බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. ‘ඔමික්‍රෝන්’ සුලමුල අප්‍රිකා මහද්වීපයයි. “ඔමික්‍රෝන් විකෘතියේ බිහිසුණු බව පළමුවෙන් ලොවට පෙන්වා දුන්නේ දකුණු අප්‍රිකාව ය.  මේ වනවිට දකුණු අප්‍රිකාවේ සෑම පළාතකටම ඔමික්‍රෝන්’ ව්‍යාප්ත වී තිබේ. ‘ඔමික්‍රෝන්’ ආරම්භය සිදුවී ඇත්තේ බොට්ස්වානා රාජ්‍යයෙන් යැයි පැවැසෙයි.

බොට්ස්වානා ද අප්‍රිකා රාජ්‍යයකි. බොට්ස්වානා රාජ්‍යයෙන් මීට පෙර ද විකෘතියක් හමුවිය. ග්‍රීක හෝඩියට අනුව, එය නම් කර තිබෙන්නේ “නියු’ ලෙසය. දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ට ‘ඔමික්‍රෝන්’ පළමුවෙන් හමුවූයේ පසුගිය නොවැම්බර් 19 වැනිදා සිදු කළ සාම්පල පරීක්ෂණයකදීය. ඔවුන් ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දුන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන කනස්සල්ල පළ කළේ  පසුගිය 24 වැනිදා නම් කළ විකෘතිය, පසුව ‘ඔමික්‍රෝන්’ යනුවෙන් නම් කිරීම සිදුවූයේ 27 වැනිදාය. ඔමික්‍රෝන්’ හඳුනා ගැනීම සහ එහි සුලමුල  සොයා ගැනීම කළේ දකුණු අප්‍රිකාවේ ‘යූ.සී.එල්.   ජෙනටික්ස්” නමැති ජාන පර්යේෂණ ආයතනයයි.  එඩ්ස් ආසාදිතයකුට ‘කොවිඩ් 19ආසාදනය වී, එම තැනැත්තාගේ සිරුරේ ‘කොවිඩ් 19’ වයිරසය විකෘතිකරණයට ලක්වීමෙන් පසු ‘ඔමික්‍රෝන් නිර්මාණය වන්න ඇතැයි ‘යූ.සී.එල්. ජෙනටික්ස්” ආයතනය පෙන්වා දෙයි. ඒඩ්ස් රෝගයට හේතු වන්නේ එච්.අයි.වී. වයිරසයයි. එච්.අයි.වී. ආසාදනය වූ පසු සිදුවන්නේ, ප්‍රතිශක්තිය විනාශ කර දැමීමය. ඒ අනුව, ඒඩ්ස් රෝගියකුට සාමාන්‍ය  හෙම්බිරිස්සාවක් පවා මාරක විය හැකිය.

“ඒඩිස් ආසාදිතයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් එය ඉතාමත් බරපතළ ත ත්ත්වයක්. එච්.අයි.වී. වයිරසය. හේතුවෙන් එම තැනැත්තාගේ ප්‍රතිශක්තිය මුළුමනින්ම අඩපණ වීම ඊට හේතුවයි. ඔමික්‍රෝන් නිර්මාණය වී ඇත්තේ, ඒඩ්ස් ආසාදිතයාගේ සිරුර හැකි උපරිමයෙන්   කොවිඩ් 19 වයිරසය නැසීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒඩ්ස් රෝගියාගේ සිරුර තුළ දී කෝවිඩ් 19  වයිරසය පරාජය බාරගෙන නැහැ. එය තව තවත් විකෘති වෙමින් ස්වරූපය වෙනස් කරගෙන ඔමිකොන් නිර්මාණය  කර තිබෙනවා. මෙය සැබැවින්ම බිහිසුණු විකෘති ප්‍රභේදයක්.” යැයි ‘යූ.සී.එල්. ජෙනටින්ස්’ නිකුත් කළ නිවේදනයේ සඳහන් වී ඇත. පසුගිය 27 වැනිදා වනවිට දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රාජ්‍යයෙන් පමණක් නොව, මැදපෙරදිග කලාපයට අයත් ඊශ්‍රායලයෙන්, ආසියාවට අයත් හොංකොං රාජ්‍යයෙන් සහ යුරෝපයට අයත් බෙල්ජියමෙන් සහ එංගලන්තයෙන් ද ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් හමුවී තිබුණි. ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය නිවේදනය කළේ තම රටින්ද “ඔමික්‍රෝන්’ ආසාදිතයන් යැයි සැක කළ හැකි ආසාදිතයන් හමුවී ඇති බවය. ලොව රටවල් බොහොමයක් (ශ්‍රී ලංකාව ද ඇතුළුව) අප්‍රිකා රටවල් රැසකට තහංචි පැනැවූයේ මේ නිසාය. එසේ තහංචි පැනැවුණු රටවල් අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, නැමීබියා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ඊස්වතනී (ස්වාසිලන්තය) ඇත. මේ අතර, අවසන්  දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.

ඔමික්‍රොන් ප්‍රභේදයේ එස් ජානය ආශ්‍රිත  විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෙද චන්දිම ජීවත්දර මහතා පැහැදිලි කරයි. ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළ යුතු බවත් බූස්ටර් එන්නත ලබා ගැනීම අවශ්‍ය බවත් වෛද්‍ය චන්දිම විවර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. විදේශිකයන් මෙරටට පැමිණීමේදී දැනට

පනවා ඇති නීති රිති ප්‍රමාණවත් බවත්, ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රොන්  විකෘතිය හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බවත් වෛද්‍ය  චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කර තිබේ.

“ඩෙල්ටා ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිමේ හැකියාවක් ඔමික්‍රොන්  ප්‍රභේදයට තිබෙනවා යැයි අනුමාන කරනවා. ශ්‍රී ලංකාව ඉතාමත් හොඳ සූදානමක ඉන්නවා. බිය වෙන්න අවශ්‍යම නෑ. අවශ්‍ය වන්නේ ඔමික්‍රොන්  රට තුළට එන එක හැකිතාක් ප්‍රමාද කිරීමයි. ඕනෑම ප්‍රභේදයක් ලංකාවට එන එක සදහටම නවත්වන්න බෑ. බූස්ටර් එන්නත අපේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. ඒතුළින් ඔමික්‍රොන්  ප්‍රභේදය ආවත් බයක් වෙන්න අවශ්‍ය නැති  වේවි. ඔමික්‍රොන්  ප්‍රභේදය මගින් ඇතිවන දරුණු තත්ත්වයන් ගැන තාම ලෝකයේ කවුරුත් දන්නේ නෑ. ලංකාවේ වැඩි දෙනකුට ලබා දුන්නේ සයිනොෆාම් එන්නත. අප දැක්කා පර්යේෂණ මගින් ප්‍රතිදේහ මාස3 යනකොට   අඩු වෙනවා. එවැනි අවස්ථාවක බුස් එන්නත ඉතා වැදගත්. ආරක්ෂාව තියෙන්නේ චින්න. විශේෂයෙන් වැඩිහිටියන් බූස්ටර් එන්නත ලබා නොගෙන සිටීම හොඳ කාරණයක් නොවෙයි. ලංකාවේ තාම පැතිරෙන එකම ප්‍රභේදය ඩෙල්ටා විතරයි. එහි අනු ප්‍රභේද 2ක් හමුවුණා. ඔමික්‍රොන්  ප්‍රභේදයේ විකෘතිතා 30න් 10ම පැතිරීමට බලපාන විකෘතිතා.  ඒනිසා මේක සැලකිය යුතු තත්ත්වයක්. ඒත් ප්‍රතිශක්තිය මහහැර යෑමේ හැකියාවක් මේකට තිබෙනවා කියලා අනුමාන කරනවා. ඩෙල්ටා හැදුණු රෝගීන්ට පවා මේ ඔමික්‍රොන් වැලඳිලා තියෙනවා. මේක හැසිරීම ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙයි. පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම විකෘතිය හදුනා ගැනීමේ සහ සැක කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක හොඳ දෙයක්.” යැයි වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

(ලුසිත ජයමාන්න)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply