දරුවන් විවාහ විය යුත්තේ කා සමහදැයි තීරණය කිරීමට මවුපියන්ට අයිතියක් තිබේ ද?

parent-advice-marriage

මාපියො දරුවන්ට ආදරෙයි. දරුවො තමා දෙමාපියන්ගේ උතුම්ම වස්තුව. ලොකු ම සතුට. දරුවොත් ඒ වගේ ම දෙමාපියන්ට ආදරෙයි. මේ අන්‍යෝන්‍ය ආදරය ප්‍රීතිමත් ජීවිතයකට හරි ම හිතකරයි. අවශ්‍යයි. දරුවන්ට දෙමාපියන්ට දෙගොල්ලට ම.  දෙමාපියො දරුවන්ට කිරි පොවලා, කන්න බොන්න, අඳින්න දීලා, උගන්නලා, ලොකු මහත් කරන්න අනාගතයේ දී යම් දවසක 

ඒ දරුවන්ගෙන් පසුවට වේදනාවක්, ගින්දරක් පත්තු වෙයි කියලා හිතාගෙන නෙමේ. සතුටක්, සැනසීමක්, ආඩම්බරයක් වෙයි කියලා හිතාගෙන මිසක්.  ඒත් අවාසනාවකට වගේ දරුවෝ දෙමාපියො අතර පුංචි පුංචි ගැටුම් බාල වයස්වල ඉඳල ම ඇතිවෙන එක ඉතින් වළක්වන්න  අමාරුයි. හැබැයි පුංචි කාලෙදි ඇතිවෙන ඔය ගැටුම් ඒ තරම් හිත් රිදෙන ඒවා නෙමෙයි. නො දැනුවත්කමට සාලෙ මල් පෝච්චි බින්දට, සාරියෙ තේ වතුර හැලුවට, බිත්තියෙ පාට පැන්සලෙන් ඇන්දට දරුවට අම්මා කෑ ගැහුවොත් ඒ පොඩි එකාගෙ වැඩ ගැන ඒ තරම් ම හිත රිද්දගන්නෙ නෑ.

 ඒත් ලොකු වෙන්න වෙන්න දරුවො කරන සමහර දේවලින් මව්පියන්ගේ හිත් රිදෙනවා. විශේෂයෙන් ම මෙහෙම හිත් රිද්ද ගන්න ප්‍රධාන සන්ධිස්ථානයක් තමා දරුවන් විවාහ වන අවධිය. හොඳට ම ගැළපෙන සහකරුවෙක්/ සහකාරියක් තේරීම තමයි දෙමාපියන්ගෙත්, දරුවන්ගෙත් උත්සාහය. ඒත් දෙමාපියො සහ දුව දරුවා අතර බොහෝ විට ගැටුම්, මතභේද, බහින් බස්වීම් ඇතිවෙනවා මේ තේරීමේදී.  ඇත්තෙන් ම මේ දෙමාපියන්ටත්, දරුවන්ටත් වෙන වෙන ම කතා කළ යුතු දෙයක්. අපි දෙමාපියන්ගේ පැත්ත ගැන බලමු. සාමාන්‍යයෙන් ඕනෑ ම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කැමති නෑ තමන්ගෙ දෑස් ඉදිරියේ ම දරුවෙක් දුක් විදිනවා  දකින්න. කසාද බැඳලා අනන්ත දුක් ගැහැට විඳනවා දකින්න කැමති නෑ. පවුලෙ අඬ දබර ඇති කරගෙන, ගුටිබැට හුවමාරු කරගෙන, අහිංසක දරු සිගිත්තන්ට හිංසා පීඩා සිදුවන කසාද ජීවිතයක් කිසි අම්මෙක්, තාත්තෙක් දරුවන්ට ප්‍රාර්ථනා කරන නෑ. ඒ හින්දා තමයි දුවට, පුතාට ආදරෙන් සලකන, ආදරෙන් බලාගන්න හොඳ කෙනෙකුව තමාගේ බෑණා/ලේලිය කරගන්න  දෙමව්පියො නිතර ම බලන්නෙ. .

ඒක ඇත්තට ම හොඳ බලාපොරොත්තුවක් තමයි. හැබැයි අවාසනාවකට වගේ තණ කොළ අස්සෙ හැගුණු සර්පයො වගේ මේ හොදද චේතනාවට යටින් සැගවුණු තවත් සියුම්  බලාපොරොත්තුවකුත් දෙමාපියන්ගේ සිත්වල තියෙනවා. මොකක් ද? පුතා/දුව බඳින්න ඕනැ මමත් කැමති කෙනෙකු පමණයි කියන සිතුවිල්ල. අන්න එතනදි තමයි දෙමාපියන්ගේ හොඳ චේතනාව පීලි පනිනෙ. එතනින් තමයි මතභේද පටන් ගන්නෙ.  මම කැමති කෙනෙකුවයි මගේ පුතා/දුව බඳින්න ඕනැ කියන අදහස සමහර දෙමව්පියන්ගේ හිත්වල කොයි තරම් දුරට කිඳා බැහැලා තියෙනව ද කිවොත්, සමහර විට දුවගෙ/පුතාගෙ විවාහ ජීවිතය මොන වගේ වුණත් එයාලට කමක් නෑ කියන නිහඩ අදහසිනුයි එයාලා වැඩ කරන්නෙ . පුතාට/දුවට ඕනැ විදිහටයි ගැළපෙන අය සෙවීම කරන්නේ.

“උඹ මෙයාව ම බදින්න ඕනැ.” සමහර දෙමාපියො කෙළින් ම නීති දානවා. කලින් ම කෙනෙකුව තීන්දු කරලත් ඉවරයි. “උඹ ඒකිව බැන්දොත් මගේ මළ මිනිය උඩින් තමා යන්න වෙන්නෙ”  ප්‍රේම සම්බන්ධතාවකින් බඳින්න හදන කොට සමහර මව්පියො එහෙම තර්ජනය කරනවා. . මේ වගේ දෙයින් සමහර දෙමාපියො දරුවන් පත් කරන්නෙ පුදුම අසහනකාරී මානසික තත්වයකට. ආදරෙන් බැඳිලා ඉන්න කෙනෙක් නම් පෙම්වතිය/පෙම්වතා අත් අරින්නත් බැරි, දෙමාපියන්ට විරුද්ධව යන්නත් බැරි අසරණ තත්ත්වයකට පත් වෙනවා. අම්මලා තෝරන කෙනාට කොහෙත් ම කැමති නැත්නම් ඒ දරුවොත් චිත්ත පීඩාවට ලක් වෙනවා. කොහොම ද අකමැති කෙනෙක්ව බදින්නෙ?

ඇත්තෙන් ම සාර්ථක විවාහ දිවියකට අත්‍යවශ්‍ය ම පදනම් වෙන්නෙ අවංක අන්‍යෝන්‍ය ආදරයයි. විවාහ වෙන දෙන්නා තුළ එකිනෙකාට ඇත්ත ආදරයක්, ගරුත්වයක් තියෙනවා නම් ඒක තමයි මූලික ම අවශ්‍යතාව. රැකියාව, තත්ත්වය, බූදලය, නම්බුව වගේ දේත් ඕනැමයි කියලා හිතෙනවා නම් ඒවට ලැබිය යුතු දෙවැනි තැනක් මිසක් පළමු තැනක් නෙමේ.  ඒත් සමහර මව්පියන්ට ආදරෙන් කමක් නෑ. සමහර විට ගතිගුණ, මනුස්සකම වැඩකුත් නෑ. බුද්ධිමත් බිරිඳක්/සැමියෙක් විදිහට පවුල සතුටින්, වගකීමෙන් ගත කරයි ද කියලා වැඩකුත් නෑ. එයාලට අවශ්‍ය එක ම දේ බාහිර පපෝරිය විතරයි. ලොකු දෑවැද්දක්, හොඳ රැකියාවක්, ලොකු ව්‍යාපාරයක්, බූදලයක්, රත්තරන් බඩු, ගෙවල්, වතුපිටි වගේ දේවල් ම තමා හොයන්නෙ . මේ විදිහට දෙමාපියන්ට ගැළපෙන අය ලැබුණොත් බොහොම ජයට බන්දලා දෙනවා. නමුත් ඒ විවාහය අසාර්ථක වුණා ම මීයො වගේ. සමහරු කළ මෝඩකම ගැන ළතවෙනවා. ඒත් පමාවෙලා දුක්වෙලා මොකට ද? අකමැති විවාහයකින් ලැබෙන අහිංසක දරුවා කොතරම් අසරණු වෙනව ද?

දෙමව්පියො ලෑස්ති කරන හැම විවාහයක් ම අසාර්ථක වෙනවා කියලා කියනවා නෙමේ. කව්රු ලෑස්ති කළත් ‘ආදරය’ පදනම් කර නො ගෙන වෙනත් මොන දේ අතින් ගැළපීම් හොයා ගත්තත් ඒ විවාහය දෙදරා යෑමට හෝ අසහනයෙන්, නීරස බවින් ගෙවී යාමට ඇති ඉඩකඩ වැඩි බවයි මින් අදහස් කරන්නෙ. දෙමාපියන් වශයෙන් ඔබ මේ ටික තේරුම් ගන්න. විවාහයක පදනම වෙන්න ඕනැ ඒ විවාහ වෙන දෙදෙනාගේ අන්‍යෝන්‍ය කැමැත්ත මිසක් ඔබේ කැමැත්ත හෝ අකමැත්ත නෙමේ. ඒ දෙදෙනා තුළ ඇති ආදරයට සහ දෙදෙනා එක්ක යුග දිවියක් ගත කිරිමට ඇති ආශාව, උනන්දුව සහ කැමැත්තට ඔබ මුල් තැන දිය  යුතුමයි.

ඔබේ ආශාවටත් ගැළපෙන, ඔබත් කැමති, ඔබත් අනුමත කරන  හොඳ ලේලියක්/ බෑණා කෙනෙක් ඔබට ලැබෙනවා නම් වාසනාවන්තයි. ඔබේ ආශිර්වාදය සහිතව දරුවා විවාපත් වෙනවා නම් වාසනාවක්. ඒත් එය ඔබේ අයිතිවාසිකමක් නෙමේ කියන එක අමතක කරන්නෙපා. වැඩිවිය පත් තරුණ දරුවන්ට ජීවිතේ   එයාලගෙ කටයුතු පිළිබඳව තීරණ ගැනීමට අයිතිය තිබිය යුතුයි. විවාහයටත් ඒක අදාළයි.   හොඳ ම ගැළපෙන සහකරු/සහකාරිය තෝරා ගැනීමට හැකි හැම උපකාරයක් ම දීම දෙමාපියන්ගේ යුතුකම. ඔහේ ඕනැ කෙනෙකුගෙ කරේ එල්ලිචදෙන් කියලා වගකීම් අත අරින එක හොඳ මවකගේ/පියෙකුගේ ගතියක් නෙමේ. අනිසි බලපෑම් කිරීමත් හොඳ දෙමාපියන්ගේ ගතියක් නෙමේ. . හොද දෙමාපියන් නම් කළ යුත්තේ දරුවා සමඟ විවාහය පිළිබඳව සෑම පැත්තක් ගැන ම සුහදව සාකච්ඡා කිරීම තුළින් සුදුසු සහකරුවකු/ සහකාරියක තෝරා ගැනීමට උදව් කිරීමයි.

දරුවන්ට නො පෙනෙන පැත්තක් ඇතොත් තමන්ගේ විවාහ ජීවිතයේ අත්දැකීම් තුළින් ආලෝකයක් ලබාදී නිවැරදි තීරණයක් ගැනීමට මග පෙන්වා දීමයි.  විවාහය කියන්නේ ආදරණීය හදවත් දෙකක් එක හදවතක් වීම මිසක් බිස්නස්කාරයො දෙන්නෙක් ගිවිසුමක් අත්සන් කිරිමක්  නෙවෙයි. ආදරණීය යුග දිවියක් කියන්නේ විවාහය නමැති වේදිකාව මත වතුපිටි, ඉඩකඩම්, රත්තරන් ආභරණ, දෑවැදි, බූදල්, සල්ලි, නම්බුව, වගේ දේ වෙනුවෙන් දරුවන් වෙන්දේසි කිරීම නෙවෙයි. . ඒ නිසා දරුවන්ගේ විවාහයට ඔබේ ආශිර්වාදය දීම, නොදීම “ඔබේ කැමැත්තක්. ඔබේ කැමැන්තට අනුකූලව ඔබේ ආශිර්වාදය මැද දරුවන් විවාහ වුණොත් වාසනාවක්. ඒත් එහෙම නො වුණත් ඔබ හිත රිද්ද ගන්න අවශ්‍ය නෑ. ඔවුන්ගේ විවාහය මතු දිනක අසාර්ථක වුණත් ඔබ ඒකට වගකිව යුතු නෑ. ඇයි ඔබ නෙවෙයිනෙ තීරණය කළේ. ඒ නිසා මග පෙන්වා ඔබ නතර වෙන්න. නිහඬ වෙන්න. හිත රිද්දගන්න, තැවෙන්න එපා.  විවාහ වීමේ තීරණය මුළුමනින් ම විවාහ වන දෙදෙනා විසින් ගත යුතු නිදහස් තීරණයක් බව හොදින් සිතට ගන්න.


උපුටන සටහන- මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Leave a Reply